horana-millaniya-incident

හොරණ මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ, විද්‍යාලයේ විදුහල්පතිනිය තමා ඉදිරියේ දී දරුවකුට වැරෙන් පහර දුන් බවත්, එම පහරෙන් දරුවා කැරකී ගොස් පොලිස් ජීප් රථයේ වැදුණු බවත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාර, මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ ලබා දී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය කොළඹ, අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 

ගුරුවරියකගේ මුදල්පසුම්බිය සොරාගත්තයි කියන සිද්ධියකට අදාළව හොරණ මිල්ලනිය  ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් නවදෙනකුට එම විදුහලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරින් පහරදී කෘරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරිය මෙම කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.



මෙම සිද්ධියට අදාළව මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා තවත් නිලධාරින් කිහිපදෙනකු සමඟ පැමිණි ඩබලිව්.පී.කේ.පී. 5698 දරන පොලිස් ජීප් රථය අත්අඩංගුවට ගෙන අධිකරණය භාරයට ඉදිරිපත් කිරීමට ද ළමා රක්ෂණ අධිකාරිය පියවරගෙන තිබිණි. 'මුදල් පසුම්බිය සොරකම් කළා නේදැයි” විමසමින් අනෝමා ගුරුවරිය තමා ඇදගෙන ගොස් විදුහල්පතිනියට බාරදුන් අතර, මුදල් පසුම්බිය කොහිදැයි විමසමින් විදුහල්පතිනියත්, අනෝමා ගුරුවරියත් තමාට අතින් පහර දුන් බවත්, පසුව කන් දෙක අල්ලාගෙන බිම දණ ගසා  ගෙන සිටීමට අණ කළ බවත්, මෙම සිද්ධියෙන් පහර කෑමට ලක්වූ සිසුවකු ප්‍රකාශ ලබාදී ඇතැයි ද ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

තමන් විදුහල්පති කාමරය ඉදිරියේ දණ ගසාගෙන සිටින අයුරු තම සහෝදරිය දැක ඒ බව විදුහල්පතිනියගෙන් විමසා සිටි බවත්, එහිදී විදුහල්පතිනිය 'ගිහින් අම්මව එක්කගෙන එන්න. එහෙම ආවොත් තමයි ඉවර වෙන්නේ” යනුවෙන් පැවසු බවත් එම ශිෂ්‍යයා ප්‍රකාශ ලබාදී ඇතැයි ද ළමා රක්ෂණ අධිකාරිය සිය වාර්තාවෙන් අධිකරණය දැනුවත් කර තිබේ. පසුව එම දරුවාගේ මව පැමිණ මේ සම්බන්ධයෙන් කතාබස් කර සමථයට පත්වූ පසුව මව පිටත්ව ගොස් ඇති බවත්, එසේ තිබිය දී විදුහල්පතිනිය මිල්ලනිය පොලිසියේ නිලධාරින් තිදෙනකු ගෙන්වා දරුවන් පොලිසියට බාර දී ඇති බවත් ළමාරක්ෂක අධිකාරිය කරුණු ඉදිරිපත් කර ඇත.පොලිස් මාමලා පැමිණි ජීප් රථය පාසලේ පුස්තකාලය ඉදිරිපිට නවතා තිබු බවත්, විදුහල්පති කාමරයේ දණ ගසාගෙන සිටි තමන් විදුහල්පතිනිය ඇදගෙන ගොස් පොලිස් මාමලාට බාරදුන් බවත් පහර කෑමට ලක් වූ සිසුවා ප්‍රකාශ ලබාදුන් බවද පැමිණිල්ල අධිකරණයට කරුණු සඳහන් කර තිබිණි.



පොලිස් ජීප් රථයෙන් පැමිණ සිටි පොලිස් මාමා කෙනකු කෝටුවකින් කකුලට සහ හිසට වරින් වර පහරදුන් බවත්, පසුව දණ ගස්වා යටිපතුල්වලට ද පහරදුන් බවත් එම සිසුවා ප්‍රකාශ කර ඇතැයි ළමාරක්ෂක අධිකාරිය සිය වාර්තාවෙන් දක්වා ඇත.  පසුව විදුහල්පතිනිය තවත් සිසුන් අට දෙනකු එම ස්ථානයට ගෙනැවිත් එම දරුවන් ද පොලිස් බාරයට ලබා දුන් බවත්, එම දරුවන්ට ද පොලිසිය කෝටුවකින් පහර දී ඇති බවත් ළමාරක  අධිකාරිය සිය වාර්තාවෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

පසුව තමන් සහ තම යහළුවා ජීප් රථයට නංවාගෙන ගොස් නැති වූ මුදල් පසුම්බිය සෙවීම සඳහා යැයි පවසා අසල තේ වත්තකට රැගෙන ගිය බවත්, එහි දී ජීප් රථයේ සවිකර තිබූ රේඩියෝ දුරකතනයේ ඇති විදුලි රැහැන් මගින් හිරිවැටෙන තෙක් විදුලි සැර වැල්ලු බවත් එම දරුවන් ප්‍රකාශ කර ඇතැයි ද ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. විදුහල්පතිනිය සහ පොලිසිය තමන්ට පහරදුන් බව කියමින් සිද්ධිය වූ ඉකුත් 02 වැනිදා දහවල් 1.45ට පමණ තම දරුවා අඬාගෙන නිවසට පැමිණි බව වින්දිත දරුවාගේ මව ප්‍රකාශ ලබා දී ඇතැයි ද ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට දැනුම් දී ඇති අතර, ඒ අනුව පැමිණිලිකාර මව දරුවා හොරණ මූලික රෝහලට ඇතුළත් කර, තම අධිකාරියේ 1929 අංක අමතා මෙම සිද්ධිය පැමිණිලිකර සිටි බවත් ළමා රක්ෂක අධිකාරිය කරුණු වාර්තා කර තිබේ.

මෙම සිද්ධියට අදාළ පළමු සැකකාර පොලිස් පරික්ෂක සහ පොලිස් සැරයන් 'විදුලි සැර වැද්දවීමට ක්‍රියාකර කිරිම සහ වයස අවුරුදු 10ක් තරම් කුඩා දරුවන් දෙමාපියන් විශ්වාසයෙන් විදුහල්පතිනිය භාරයේ තබා සිටිය දී දෙමාපියන්ට නොදන්නා දරුවන් පොලිස් භාරයට දුන් මෙහි සිවුවැනි සැකකාරිය වන විදුහල්පතිනිය සිදුකර ඇත්තේ ඉතාමත් බරපතළ වරදක් බවත් මහේස්ත්‍රාත්වරයා සිය ඇප තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර ඇත.ඒ අනුව බැලු බැල්මටම මෙම කාරණාව බරපතළ කාරණාවක් වන බැවින් සහ මහජන කැලැඹීමක් ඇතිවන බැවින් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත්, පොලිස් රියැදුරා කටයුතු කර ඇත්තේ රියැදුරු වශයෙන් පමණක් බැවින් සහ දරුවන් විදුහල්පතිනියට යොමුකරමින් පහළ මට්ටමින් තීරණ ගත් නියෝජ්‍ය විදුහල්පතිනියට ද ඇප නියම කිරිමට අධිකරණය තීන්දු කර ඇත.



ඒ අනුව, රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මෙම සිද්ධියේ පළමු සැකකරු වන හොරණ මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණීලි අංශයේ ස්ථානාධිපති (නො. 329, තල්ගහවිල, මිල්ලෑව, හොරණ පදිංචි) රාජපක්ෂ පතිරගමගේ සමරසිරි රාජපක්ෂ, දෙවැනි සැකකරු වන මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් 45426 (නො, 262/ඒ, දොඹගොඩ, හොරණ පදිංචි) තන්ති ආරච්චිගේ දොන් ජයන්ත, සිවුවන සැකකාරිය වන හොරණ මිල්ලනිය ගංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනි (නො. 488/2, ඔලබොඩුව, ගෝණපල පදිංචි ගම්මන්පිල ඉමියාගේ දොන් විනීතා රාජී ගම්මන්පිල යන අයවලුන්ය.

මෙම සිද්ධියේ තෙවැනි සැකකරු වන මිල්ලනිය පොලිසියේ පොලිස් සැරයන් රියැදුරු 1422 රණසිංහ තිලාන් ප්‍රසාද් යන අය රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් සහ මෙහි පස්වන සැකකාරිය වන එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි ටිකිරි බණ්ඩාර මුදියස්ලාගේ නෙරංජලා නිශාදි රත්නායක යන අය රුපියල් 750,000ක ශරීර ඇපයක් මත ද මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.


නිමන්ති රණසිංහ