afgan-sri-lanka-cricket

ඊයේ (25) පල්ලෙකැලේ දී ආරම්භවූ ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්ථානය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 294කි.



ලකුණු 295 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 234ක් පමණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු කඩුල්ල දවා ගැනීම පවා ශ්‍රී ලංකා පන්දු බලඇණියට අසීරු කර්තව්‍යයක්  විය.සිය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran සිය දෙවැනි එක්දින ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත්තේ පන්දු 120ක් පමණක් වැය කරමින්.ඔහු ලකුණු 106ක් ලබා සිටිය දී මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.



ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ බොහෝ ක්‍රීඩකයින්‍ සාර්ථක වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහරදෙමිනි.එහිදී Rahmanullah Gurbaz සහ Rahmat Shah ද අර්ධ ශතක රැස් කරගත්තා.පන්දුවාර 50 නිමා කරන විට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ කඩුලු 08ක් බිඳ වැටී තිබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 295ක ඉලක්කයක් හිමිවිය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග වැඩිම කඩුලු ලාභියා වූ අතර ඔහු ලකුණු 42කට කඩුලු 02ක් බිඳ දැමිය.කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර එක්ව එක් කඩුල්ල බැගින් තමන් සතු කරගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 295ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු අතර ශක්තිමත් වන්නට ඉඩනොදී දවා ගන්නට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් විය.පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් එක් ලකුණක් ලබා සිටිය දී Yamin Ahmadzaiගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගියේය.


 සාර්ථක වූ පිතිකරුවන් දෙපළ වූයේ පැතුම් නිස්සංක සහ වනිදු හසරංගයි. පැතුම් සහ වනිදු දෙදෙනාම  ලබාගත්තේ සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකයි.

කලකට පසු කණ්ඩායමට එක් වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 14ක් රැස් කර ගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 14ක් සහ අසලංක ලකුණු 10ක් ලබාගත්හ.සෙසු කිසිදු ක්‍රීඩකයෙක්ට හෝ ලකුණු අතරට පිවිසීමට ඇෆ්ගන් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවෝ ඇෆ්ගන් පන්දු යවන්නන් අභියස දියාරු පිතිකරණයක නිරතව පරාජය විය.
තරගයේ වීරයා සම්මානය ශතකයක් ලබාගත් ඊබ්‍රහීම් දිනාගත්තේය..