විෂකාරකයක් වන ඇල්ෆටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගුවීම හේතුවෙන් සුපෝෂ, ලක්පෝෂ හා නැණපෝෂ යන අතිරේක ධාන්‍ය ආහාරමය නිෂ්පාදන මාතර අධිකරණ බල සීමාව තුළ විකීණීම හා බෙදාහැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී.කේ. පරණ ලියනගේ මහතා පෙරේදා (09) තහනම් නියෝගයක් නිකුත් කළේය. එම පෝෂ වර්ග නිෂ්පාදනය කරන සමාගම් තුනකට මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 98 (1) ආ වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 104 වගන්තිය ප්‍රකාරව අදාල නිෂ්පාදන මාතර අධිකරණ බල සීමාව තුළ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට දැනට වෙළෙඳපොළේ පවතින එම නිෂ්පාදනවල තොග වහාම ඉවත් කිරිමට ද නියෝග කළේය.



තවද එම නිෂ්පාදන වෙළෙඳසලට නිකුත් කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. මාතර හා කැකණදුර ප්‍රදේශවල වෙළෙඳසල් පරික්ෂාවට ලක්කොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඒවායේ සාම්පල් රජයේ රස පරික්ෂකවරයා වෙත යවා තිබිණ, ඒවායේ නියමිත ඇල්ෆටොක්සීන් ප්‍රමාණය ඉක්මවා ඇති බවට රස පරික්ෂක වාර්තා ලැබී තිබුණි. විත්තිකාර සමාගම්වලට අධිකරණය හමුවේ පෙනී සිටීමට පිස්කල්වරයා මගින් සිතාසි යවන ලෙසටද අධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දුන්නේය.

විත්තිකරුවන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන කරුණු සලකා බලා අවසානාත්මක නියෝගය නිකුත් කරන බව කී අතිරේක මහේස්ත්‍රාත් සමන් පරර්ණ ලියනගේ මහතා එතෙක් මෙම ඉන්ජන්ෂන් තහනම බල පැවැත්වෙන බවද ප්‍රකාශ  කළේය.

මෙම නඩුවල වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් මස 14 වැනි දිනට කල් තැබිණි. මාතර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ධම්මික විදානපතිරණ මහතාගේ මෙහෙයවීම මත මාතර, වැලිවේරිය මහජන සෞඛ්‍ය පරික්ෂක පී.ජී.එම්. සංදීප, උයන්වත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.එච්.ආර්.එම්. තරංග, කැකණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්දික රණගල මහතාගේ උපදෙස් මත කැකණදුර මහජන සෞඛ්‍ය පරික්ෂක කමල් බුද්ධික සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මෙම වැටලීම් සිදුකර තිබිණ.


 ක්‍රිෂාන් ජීවක ජයරුක්