bandaragama-incident

නිවෙසේ මෙහෙකාර සේවයට යැයි පවසා රැකියා නියෝජිත ආයතන මගින් රැගෙන නිවෙසට එන කාන්තාවන් රැගෙනවිත් අතවර කර ඔවුන් සතු දේපළ කොල්ලකෑ බව කියන විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.  බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක එයින් පලා විත් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.පනස් පස් හැවිරිදි තමන් රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර සේවය සඳහා නිවෙසේ හාම්පුතා විසින් කැඳවාගෙන ආ බවත් බිරිය හා දරුවා නිවෙසේ සිටින බව ඔහු පැවසුවත් නිවෙසට පැමිණි පසු කිසිවෙකු එහි නොසිටි බවත් කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.



රාත්‍රී දෙකක් එම නිවෙසේ රඳවාගෙන බලහත්කාරයෙන් තමන්  දූෂණය කළ බව එම කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් බව ද පොලිසිය පවසයි.  හාම්පුතා දුරකතන ඇමතුමක් ගනිමින් සිටිය දී තමන් නිවෙසින් පලා විත් පොලිසියට පැමිණි බවත් හාම්පුතාගේ නම හෝ තමන් රැඳී සිටි නිවසේ ලිපිනය නොදන්නා බවත් නමුත් එම ස්ථානය පෙන්වා දිය හැකි බව කාන්තාව පවසා ඇතැයි  පොලිසිය කියයි. කාන්තාවගෙන් ලද පැමිණිල්ල අනුව පොලිස් නිලධාරීන්  කණ්ඩායමක් බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ එම නිවස වෙත ගොස් සිදු කළ විමර්ශන වලදී කුලී පදනම මත එම නිවෙස ලබාගෙන තිබූ සැකකරු එම අවස්ථාවේ දී නිවසේ දොරගුලු ලා පිටව ගොස් තිබූ බවත් පොලිසිය කියයි.

පසුව පොලිස් නිලධාරින්  නිවෙස වටලා සැකකරු අත්අඩංගුවටගෙන සිදු කළ  විමර්ශන වලදී සැකකරු මෙයාකාරයෙන් රැකියා නියෝජිත ආයතනවලට  රැකියා සොයා පැමිණෙන කාන්තාවන් වරින්වර මෙහෙකාර සේවයට යැයි පවසා ලබාගෙන ඔවුන්ගේ බඩු බාහිරාදිය කොල්ලකා පලායන්නකු බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.  53 හැවිරිදි සැකකරු ගාල්ල පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ