කටා රොෂාන් මරපු පළිය ගන්න මාමාවයි අයියාවයි ඔක්තෝබර් 31 නඩු දවසෙදී මරණවා කියලා රොෂාන්ගේ මල්ලි කීවා. මේ ගැන මම ගෙදරට පණිවුඩය දුන්නට පස්සේ එයාල බයෙන් හිටියේ. නඩුව තිබුණ 31 වැනිදා උදේ ඒ දෙන්න ගෙදරින් ගියේ ‘හැමදාම බයෙන් ඉන්න බැහැනේ පොලිසියට ගිහින් පැමිණිලි කරනවා’ කියලයි.උසාවි යන අතරතුර හික්කඩුව පොලිසියට ගිය මේ දෙදෙනාවම මිටියාගොඩ පොලිසියට හරවා යවා තිබුණා. ඒ අතරතුරයි මේ දෙන්නව මහ මග වෙඩි තියලා මරලා දැම්මේ යැයි හික්කඩුව තිරණාගමදී වෙඩි තබා ඝාතනය වූ පුද්ගලයින්ගේ ඥාතී පුත්‍රයකු පවසයි.
හික්කඩුව තිරණාගම ප්‍රදේශයේදී පෙරේදා මෙලෙස ඝාතනයට ලක්වූයේ හික්කඩුව කලුපේ පදිංචි ප්‍රසන්න මෙන්ඩිස් (47) සහ ඔහුගේ ඥාති පුත්‍රයෙකු වූ ඉසුරු ප්‍රසන්න(26) යන අයය.
පාතාල කල්ලි සාමාජිකයෙකු වූ සමයං නැමැත්තා කළුතර ප්‍රදේශයේදි ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ පාර්ශවකරුවෙකු වූ හික්කඩුව නලාගස්දෙනිය ප්‍රදේශයේ පදිංචි රෝෂාන් ද සිල්වා හෙවත් කටා රෝෂාන් යන අය පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේදීම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණු අතර එම ඝාතනයේ විත්තිකරුවන් වශයෙන් පෙරේදා ඝාතනයට ලක්වූ ප්‍රසන්න හා ඉසුරු ද විය.
කටා රොෂාන් නැමැත්තා ද අංගොඩ ලොක්කා සමගින් සමීපව ගනුදෙනු කළ සංවිධානාත්මක අපරාධකරුවෙකි. පුද්ගල ඝාතන හා ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ කටා රොෂාන් නැමැත්තා කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බසයට වෙඩි තබා රණාලේ සමයං ඝාතනය කිරීමෙන් පසු සමයං බන්ධනාගාර බසයේ සිට එළියට ඇදගෙන ආ පුද්ගලයා බවද අනාවරණය වි ඇත. ඔහු එම අපරාධයෙන් පසු සැගවී සිට ඇති අතර පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා මිතුරෙකු සමගින් මත්පැන් පානය කරමින් සිටියෙදී කපා කොටා ඝාතනයට ලක්කර තිබුණි.
කටා රොෂාන් ඝාතනයට අදාළ නඩුව පසුගිය 31 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර ඊට සහභාගී වීම සඳහා යතුරුපැදියකින් ප්රසන්නත් ඉසුරුත් පැමිණෙමින් සිටියහ. නමුත් ඔවුන් ඊට සති කිහිපයකට පෙර සිටම එළිපෙහෙලියේ වැඩිය ගැවසුනේ නැත. ඊට හේතුව වූයේ ඔවුන් දෙදෙනා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ නිසාය.
කටා රොෂාන්ගේ සහෝදරයෙකු වෙනත් චෝදනාවකට අත්අඩංගුවට පත්ව සිටියේ ගාල්ල බන්ධනාගාරයේය. එමෙන්ම ප්‍රසන්නගේ පුතෙකු සිටියේද බන්ධනාගාර ගතවය.
රොෂාන් අයියා මරපු උඹලාගේ නඩුව තියෙන්නේ 31 නේද. එදාට බලපංකෝ වෙන දේ.... යැයි රොෂාන්ගේ සහෝදරයා ප්‍රසන්නගේ පුත්‍රයා වෙත කියා සිටියේය. ඒ තර්ජනය ඉක්මනින්ම නිවසට කියන්නට තරම් ප්‍රසන්නගේ පුත්‍රයා හදිසි වූයේ මෙය මරණ තර්ජනයක් වූ නිසාය.
මේ අනුව කටා රොෂාන් ඝාතනනයේ විත්තිකරුවන් වූ ප්රසන්නත්, ඉසුරුත් ඉතා ආරක්ෂාකාරී ලෙස සැගව සිටියහ. දිනෙන් දින ගෙවී ගිය මේ බියගුළු ජීවිතය අත්හැර තමන්ට ඇති මරණ තර්ජනය ගැන පොලිසියට පැමිණිලි කර ආරක්ෂාව ලබාගැනීමට මේ දෙපළම තීරණය කළේ ඒ ඒ පවුල්වල අයගේ ද දැඩි ඉල්ලීම මතය. ඒ ගැන ඔවුන් පොලිසියට කියන්නට තෝරාගත්තේද රොෂාන් ඝාතන නඩුව විභාගයට ගත් ඔක්තෝබර් 31 වැනිදා දිනයේය.
යතුරුපැදියෙන් උදෑසන 08 ට පමණ පිටත්වූ මේ දෙපළ මුලින්ම හික්කඩුව පොලිසියට ගියහ. ඒ ගිය අතරතුර හික්කඩුව පොලිසියේ නිලධාරියෙකු මොවුනට පැවසුවේ තර්ජනයක් තිබුණත් ඒ ගැන මෙහේ පැමිණීලි කරන්නට නොහැකි බැවින් මීටියාගොඩ පොලිසියට යන ලෙසය.
මේ අනුව නඩුවට යෑම මූලික කරගත් මේ දෙපළ නැවතත් යතුරුපැදියෙන් ගාල්ල දෙසට පැමිණි අතර පැමිණි අතරතුර තවත් යතුරුපැදියකින් ලුහුබැඳ පැමිණි පුද්ගලයින් දෙදෙනකු හික්කඩුව තිරණාගම ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියකින් වෙඩි වරුසාවක් එල්ල කරන්නට විය. වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනා යතුරුපැදිය තමන් පැමිණි දෙසටම හරවා ගනිමින් අශ්ව වේගයෙන් පලා ගියහ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ඍජු අධීක්ෂණය යටතේ ගාල්ල කොට්ඨාසබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහගේ උපදෙස් හා මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කළේය.
මෙම ඝාතනය කටා රොෂාන් ඝාතනයට පළිගැනීමක් ලෙස සිදුකරන ලද්දක් බවට එමගින් අනාවරන්‍ය විය. ඝාතකයින් වෙඩි උණ්ඩ 17 ක් වැය කරමින් මෙම වෙඩි තැබුම සිදුකර තිබෙන අතර ඝාතනය පිටුපස කටා රොෂාන් නැමැත්තාගේ වැඩිමහල් සොහොයුරියක බව කියන හික්කඩුව ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් කොන්ත්‍රාත්තුවක් වශයෙන් ලක්ෂ 05 ක් ලබාදී තිබෙන බවද හෙලිකරගෙන ඇත.එම කාන්තාවද මේ වනවිට ප්‍රදේශයෙන් පැනගොස් සිටින බව පොලිසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ සිදුවන බවත් මෙම ඝාතකයින් කවුරුන්දැයි හදුනාගෙන තිබෙන බවත් දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසීය.
දකුණේ පතාල කල්ලි අතර ඇතිවන ගැටුම්වලින් වසරකට පුද්ගලයන් 50 ක් පමණ ඝාතනයට ලකවන බව පොලිස් ආරංචි මර්ග සදහන් කරයි. දකුණු පාතාල කල්ලි අතර කාලයක් තිස්සේ ඇති වන ගැටුම්වල ප්‍රථිපලයක් වශයෙන් මෙසේ මිනී මරාගන්නා බවත්, පොලිසිය මගින් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළද පාතාලකල්ලි සාමාජිකයින් ඉන් සැහිමකට පත්නොවන බවද පෙලිසිය පවසයි.
මියගිය ප්‍රසන්න මෙන්ඩිස් ගේ මස්සිනා ඝාතනය ගැන මෙසේ කීවේය.
එයාගෙ දරුවෙක් මේ වෙනවිට වෙන විට බන්ධනාගාර ගත වෙලා ඉන්නවා.එයා ඊට දවස් දෙකකට පමණ ඉස්සර වෙලා පණිවිඩයක් එවලා තිබුණා.බන්ධනාගාරයේ ඉන්න මැරුණු රොෂාන් ගේ මල්ලි කිව්ව 31 වෙනිදායින් පස්සේ උඹලා සෙල්ලම් ඉවරයි කියල.ඒක නිසා උසාවියට එන්න එපා කියලා.අපි මේ බව ආසන්නයි යට ඉසුරු මල්ලිටත් කිව්වා.ඉස්සර කිව්වා හැමදාම අපිට පොලිසි ගානේ රස්තියාදු වෙන්න බෑ.මම මමත් එක්ක උසාවියට යනවා කියලා.එහෙම කියලා තමයි මම ඒ ට විතර ගෙදරින් පිටත් වුනේ.සිද්ධිය දැකපු නංගි කෙනෙක් අක්කට කෝල් එකක් දීලා තිබුණා තිබුන චුටි අයියලා උසාවි යන්න ගෙදරින් පිටත් උනාද කියල . උසාවි යන දෙන්නෙකුට හික්කඩුවෙ දී වෙඩි තියලා කියලා.ඒ පනිවිඩයට අපි ගිහින් බලනකොට අඳුනගත්තා වෙඩි තියලා තියෙන්නෙ මේ දෙන්නට කියලා.මස්සිනාට දරුවන් පස් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් බන්ධනාගාරයේ.ලොකු පුතාගෙ අතපය කපලා රොෂාන්ලා.එයා දැන් එක තැන වෙලා ඉන්නේ.අනිත් තුන්දෙනා ගෙදර අම්මත් එක්ක.ඒ අයට රස්සාවක් නෑ.මස්සිනා කළේ ධීවර රස්සාව.දැන් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ.අපිත් පොලිසියෙන් ,ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා මේ අයට නිදහසේ ජීවත් වෙන්න වටපිටාවක් සකස් කරලා දෙන්න කියලා.හැමෝම හංවඩු ගහනවා අපි පාතාල කාරයෝ කියලා.එහෙම එකක් නෑ.සිද්ද වෙච්චි දේ හරියට නොදැන එකේක කතා කියන එක වැරදියි.කාරණාවක දෙපැත්තක් තියනවා.
දිගින් දිගමට මේ අයට මරණ තර්ජන එනවා.මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා අපි ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා.
(එෆ්.අස්ලම් - එච්. එම්.සමන් - අක්මීමණ)
0 Comments