වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගිය කැබිතිගොල්ලෑව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරින්ට පොලු මුගුරු වලින් පහරදී එක් පොලිස් සැරයන්වරයකු ඝාතනය කිරීම් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින විහාරාධිපති හිමිනමක සහ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 19 දෙනා ඇප මත මුදා හැම කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා ඊයේ (10) යළිත් ප‍්‍රතික්ෂේප කළේය.


ඒ අනුව සියලු සැකකරුවන් මෙම 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිත් කරන ලෙස මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති විමර්ශන බාර නව ප්‍රධානී ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.ජී. රත්නායක මහතා තවදුරටත් නියෝග කළේය. මෙසේ යළි රිමාන්ඩ් කළේ මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර සිටින ඩබ්ලිව්. මදුසංක පුෂ්ප කුමාර නොහොත් මධූ එච්.එම්. ගයාන් බුද්ධික හේරත්, යුද හමුදාවේ හිටපු සෙබළෙකු වන





ජේ. අමිත් සංජීව ජිනසේස්ත, ආර්. චරිත් කුමාර නොහොත් චන්ඩි, ජේ. මහේෂ් කුමාර, සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු වන පී. මහින්ද කුලරත්න, කැබිතිගොල්ලෑව, රඹකැපුවැව බෝධිරුක්ඛාරාමාධිපති නාවෙල ධම්ම විභාවි හිමි සහ ඩබ්.එම්. මහේෂ් සත්සර විමලසිරි, එස්. නිශාන්ත කුමාර සේනාරත්න, ඩබ්. දිනේෂ් දේවප්‍රිය, එම්. වසන්ත දිසානායක, කේ, කරුණාසිරි, ඒ. සමන් නන්දික සේනාරත්න, පී.ඊ.ඉරේෂ් ඒකනායක, එච්.එම්. ගයාන් සම්පත් ප්‍රේමසිරි, කේ. වසන්ත වනසිංහ, එස්. රුවන් සිරිසේන, ඒ. ධනපාල සහ නයනා චම්පිකා දිසානායක යන සැකකරුවන්ය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වමින් මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක (විශේෂ විමර්ශන බාර ප්‍රධානී) ආර්.එම්.අයි.ජී. රත්නායක මහතා කියා සිටියේ මෙම සිද්ධියේ විමර්ශන කටයුතු කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ නියෝග මත මින් ඉදිරියට තමා යටතේ ක්‍රියාත්මක බවයි.


ඒ අනුව රඹකැපුවැව සිද්ධිය සම්බන්ධයෙන් මුල සිටම නැවත විමර්ශන සිදු කිරීමට තමා අපේක්ෂා කරන බවද අධිකරණයට කියා සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා එම විමර්ශන කටයුතු සඳහා තමා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් රඹකැපුවැව ගම්මානයට යාමට සූදානමින් සිටින බවත් එහිදී පොලිසියේ රාජකාරිවලට බාධා නොකරන ලෙසට එම ගම්මානයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් පැවසීය. දැනට රිමාන්ඩ් කර සිටින සැකකරුවන් සිදු කර ඇති වැරදි සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද


ප්‍රධාන පොලිස් පරිකවරයා අධිකරණයට දැන්වීය. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් රංග සුජීව සහ සජීව ගුණරත්න යන නීතිඥයන් සඳහන් කළේ මෙම සිද්ධියේ විමර්ෂන කටයුතු කැබිතිගොල්ලෑව පොලිසියෙන් ඉවත් කර මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි. ජී. රත්නායක යටතට පැවරීම පිළිබඳව සතුටට පත් වන බවයි. ඔහු අපරාධ විමර්ශනය පිළිබඳව දක්ෂ නිලධාරියකු බවට තමන් හදුනා ගෙන ඇති බවද නීතිඥවරු පැවසූහ. මෙම සියලු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර එම පොලිස් නිලධාරින්ට පහරදී සුළු සහ බරපතළ තුවාල සිදු කිරීම,





පොලිස් නිලධාරින් ඉටු කිරීමට ගිය රාජකාරිය වළක්වාලීම, එම රාජකාරියට සාපරාධ බලහත්කාරය පෑම, පොලිස් නිලධාරියෙකුට පහරදී බරපතළ තුවාල සිදු කර එම පොලිස් නිලධාරියා ඝාතනය කිරීම, පදවිය, කැබිතිගොල්ලෑව, අනුරාධපුර ප්‍රධාන මාර්ගය රඹකැපුවැව හංදියෙන් වසා දමා ටයර් පුළුස්සා එම මාර්ගයට අනර්ථය සිදු කිරීම යන චෝදනා යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32/102/140/322/317/183/344/296 සහ 414 වන වගන්ති ප්‍රකාරවය. දැනට රිමාන්ඩ් කර සිටින සැකකරුවන් 19 දෙනා අතරින් 1 සහ 14 සහ 17 වන සැකකරුවෝ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටීම හේතුවෙන් ඊයේ (10) අනුරාධපුර බන්ධනාගාරයේ සිට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.


පැමිණිල්ල වෙනුවෙන් මැදවච්චිය පොලිසියේ ස්නාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.ජී. රත්නායක මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන රංග සුජීව, අජිත් දිසානායක, සජීව ගුණරත්න සහ මහේෂ් කොටුවැල්ල යන මහත්වරු පෙනී සිටියහ. කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කැබිතිගොල්ලෑව පොලිස් අධිකාරි (1) කේ.ඒ.ජේ. එස්. කොඩිසිංහ මහතාගේ උපදෙස් මත මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම් අයි.ජී. රත්නායක මහතාගේ මෙහෙයවීම මත විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් . වැඩිදුර විමර්ශන සිදු කරති.

( අනුරාධපුර උපාලි ආනන්ද )