ගුවන් යානයක සිට නිකුත් කෙරෙන රොකට්ටුවක් ආධාරයෙන් අභ්‍යවකාශ යානාවක් කක්ෂගත කිරීම සඳහා වන අනුමැතිය බ්‍රිතාන්‍යයේ කෝර්න්වෝල් අභ්‍යවකාශ තොටුපොළ වෙත පසුගියදා හිමි විය. ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළතදී මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම බ්‍රිතාන්‍යයේ අදහස වී තිබේ.
එසේම මෙය අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් වෙත බ්‍රිතාන්‍ය සිදුකරන දැවැන්ත පියවර තැබීමක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බ්‍රිතාන්‍යයේ Newquay හි පිහිටි කෝන්වෝල් ගුවන් තොටුපොළ ආශ්‍රිතව මෙම අභ්‍යවකාශ තොටුපොළ පිහිටා තිබේ. මෙම මෙහෙයුම් සඳහා බ්‍රිතාන්‍යයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් බලාපොරොත්තු වන සුරක්ෂිතතා, ආරක්ෂක සහ පරිසර ප්‍රමිතීන්ට අනුකූලවීමත් සමග එම අභ්‍යවකාශ තොටුපොළ වෙත එම අනුමැතිය හිමිව තිබේ. බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ගැලක්ටික් සමාගමට අයත් බෝයිං 747 ගුවන් යානයක පියාපතක් මත මෙම රොකට්ටුව සවිකර තිබේ. එම ගුවන් යානය Cosmic Girl නමින් හැඳින්වෙන අතර, රොකට්ටුව LauncherOne ලෙසින් හැඳින්වෙයි.
අඩි 70ක් දිග මෙම රොකට්ටුවේ බර ටොන් 28කි. ගුවන් යානය පෘථිවියේ සිට අඩි 35,000ක උන්නතාංශයකට ළඟා වූ විට රොකට්ටුව එහි සිට නිකුත් කෙරේ. මෙහිදී එය උපරිමව පැයට සැතපුම් 17,500ක වේගයකින් අභ්‍යවකාශය වෙත ඇදී යන අතර, එය ශබ්දයේ වේගය මෙන් 20 ගුණයකි. ඒ අනුව එය වඩාත් ඉක්මනින් අභ්‍යවකාශය වෙත ඇදී යයි. මෙය කක්ෂීය නිකුත් කිරීම (Orbital Launch) ලෙසින් නම් කෙරී තිබේ. තෙවැනි අදියර ලෙස මෙම රොකට්ටුව කක්ෂයට පිවිසි විට එහි ඇති දෙවැනි කොටස ඉන් ඉවත් වෙයි.
කක්ෂගත කළ යුතු චන්ද්‍රිකාව ඇත්තේ එහිය. අනතුරුව එම කොටසද විවර වී එම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට මුදා හැරෙයි. Virgin සමාගමේ Virgin Orbit සමාගම මගින් මෙම මෙහෙයුම සිදුකරයි. ඒ සදහා වන Cosmic Girl ගුවන් යානය සහ LauncherOne රොකට්ටුව පසුගිය මාසයේදී එක්සත් ජනපදයේ කැලිෆෝනියා නුවර සිට බ්‍රිතාන්‍යයේ කෝර්න්වෝල් අභ්‍යවකාශ තොටුපොළ වෙත ගුවන් මගින් පැමිණ තිබේ. වාර්තාවලට අනුව මෙය බ්‍රිතාන්‍ය තුළ සිදුකරන පළමුවැනි Orbital Launch අවස්ථාවද වෙයි. මීට පෙර බ්‍රිතාන්‍ය Black Arrow නමින් 1971 වසරේදී මෙවැනි මෙහෙයුමක් සදහා පියවර ගෙන ඇති අතර,
එහිදී ඔස්ට්‍රේලියාවේ සිට එම කටයුතු සිදුකෙරී තිබේ. මීට පෙර සෝවියට් සමූහාණ්ඩුව (1957), එක්සත් ජනපදය (1958), ජපානය (1970), ප්‍රංශය (1970), චීනය (1970), ඉන්දියාව (1980), ඊශ්‍රායලය (1988), ඉරානය (2009), උතුරු කොරියාව (2012) සහ දකුණු කොරියාව (2022) ලෙස මෙලෙස සිය භූමිය තුළ Orbital Launch අවස්ථාවන් සිදුකර තිබේ.
ඒ අනුව මෙය වඩාත් ලාභදායී ක්‍රමයකට චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ අවස්ථාවක් වනු ඇතැයිද සඳහන් වෙයි. ඒ හරහා අනාගතයේදී බ්‍රිතාන්‍ය මෙම අභ්‍යවකාශ මෙහෙයුම්හි ප්‍රධානතම රටක් බවට පත් කිරීම එහි අරමුණ වී තිබේ. මේ සඳහා වන අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍යයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ
ප්‍රධාන විධායක රිචර්ඩ් මොරිආර්ටි, මෙවැනි ආකාරයේ අනුමැතියක් ලබාදීම බ්‍රිතාන්‍ය තුළ ඓතිහාසික අවස්ථාවක් බව පවසා තිබේ. එසේම බ්‍රිතාන්‍යයේ අනාගත අභ්‍යවකාශ කටයුතු වෙත පහසුකම් සැපයීම වෙනුවෙන් අවස්ථාව ලැබීම ගැන ආඩම්බරයට පත්වන බවත් ඔහු සඳහන් කර ඇත.
0 Comments