thilini-priyamali-borella-sirisumana
තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළව කඩවත විහාරස්ථානයක වෙසෙන බොරැල්ලේ සිරි සුමන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගත් හිමිනම දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි සමග සමීප හිතවත්කමක් පවත්වා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබේ.



මෙම සැකකාර හිමිනම විවිධ තාක්ෂණික ක්‍රමවේද රැසක් භාවිතා කර තිබෙන බවත්, විශේෂයෙන්ම දුරකතන යෙදවුමක් ද භාවිතා කර ඇතැයි ද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

සැකකාර හිමිනම භාවිතා කරන ලද එම ජංගම දුරකතන යෙදවුම් (APP) මගින් එම හිමිනමගේ ජංගම දුරකතනයට ලද ඇමතුම් පැය 24ක් ඇතුළත මැකී යන බවද විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

තිලිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස මෙම හිමිනම සමග සමීප ඇසුරක් පවත්වා තිබෙන බවද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

තිලිණි ප්‍රියමාලිගේ ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ බිලියන ගණනින් මුදල් තැන්පත් කළ ප්‍රකෝටිපතියන් යළි මුදල් ඉල්ලා සිටින අවස්ථාවන්හිදී ‘‘ඔය මුදල් ඉක්මනින් ලැබෙනවා. කලබල වෙන්න එපා’’ යනුවෙන් පවසමින් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස සනසා ඇත්තේද බොරැල්ලේ සිරිසුමන හිමියන් විසින් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයේ දී අනාවරණය කරගෙන තිබේ.

මෙම සැකකාර හිමිනම කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බවත් එම විහාරස්ථානයේ කිලෝ ග්‍රෑම් 2500ක් බර විශාල රන් පොල්ලක් තිබෙන බව පවසමින් විශාල පිරිසක් මුලාකර තිබෙන බවද විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

එම රන් ‌පොල්ලේ ඡායාරූප ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.



‘‘තිලිණි ප්‍රියමාලි සිදු කළ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී හෙළි වූ කරුණු මත බොරැල්ලේ සිරි සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පැවැසීය.

රහත් යැයි කියාගන්නා සැකකාර හිමිනම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (02 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලි, ඇයගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර සහ තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරාද බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (02 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඉෂාර රත්නකාර)

සිරිසුමන හිමි සම්බන්ධ පෙර වාර්තා

තමා රහත්වුනාය කියන බොරැල්ලේ සිරිසුමන හිමි සමග තිලිණි ප්‍රියමාලිගේ ගනුදෙනු එළිවේ

ප්‍රියමාලි කියන්නේ අපේ දායිකාවක් එතුමිය කරන පිංකම් වැඩ ගැන විතරයි මං දන්නෙ - බොරැල්ලේ සිරිසුමන හිමි