තමන්ගේ සංචිත බින්දුව වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ නියෝජිතයන් ප්‍රකාශ කළේ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) පැවැසීය. අද සමාජ පද්ධතිය පිපිරි යාමට ආසන්න බව පැවසූ මන්ත්‍රීවරයා අයවැය ලේඛනයේ ඇති සංඛ්‍යා ලේඛනවලින් උද්දාමයට පත් වී කටයුතු කළහොත් මහා මුළාවකට ඇදවැටෙන බවද ප්‍රකාශ කළේය.
“අපි පහසුවෙන් ඉන්නේ ගිනි කන්දක් උඩ'' යැයිද ඔහු කීවේය. රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේ දී ය. පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද සඳහන් කළේය.
“රටේ පවතින ආර්ථික තත්වය හමුවේ මහජන ක්‍රියාකාරීත්වය අඩාල වෙමින් තිබෙනවා. කම්හල් විශාල ප්‍රමාණයක් වැහෙමින් තිබෙනවා. ඒක තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. රටේ විරැකියාව වසරක් ඇතුළත දෙගුණ වෙලා තිබෙනවා. දුප්පත්කම තියෙන්නෙ 2005 වර්ෂයේ තත්වයේ. බොහොම ආයාසයෙන් දුප්පත්කම නැති කර ගත්ත රට නැවතත් මුල් තැනටම ගිහින් තිබෙනවා. 2025 වෙනකොට මේක 1991 ගාණටම යනවා. ලෝක ආහාර සංවිධානයට අනුව ලක්ෂ 29ක් අලුත් දුප්පතුන් බිහිවෙලා. දුප්පත්කම අද වතුකරේ සියයට පනස් දෙකයි. රටේ දුප්පත්කම සියයට 26යි.
වැඩපිළිවෙළක් නැතුව යන මේ ගමනේදී අප මේ කරන්නේ නැවතත් කැරැල්ලක් කැඳවා ගැනීම. දුගීන්ගේ මහා කැරැල්ලක් එන එක ගැන අපි මේ කියන්නේ. ඒ වගේම ගොවියන් ගොවිතැන අත හරිමින් සිටිනවා. මොකද යෙදවුම් මිල දරාගත හැකි තත්වයක නෑ. සංචාරක,
ඉදිකිරීම් අංශ කඩා වැටිලා ඉවරයි. ජාවාරම්කාර පිරිස් තමන්ගේ ධනය විදේශ ව්‍යාපාරවලට යොදවමින් සිටිනවා. වෘත්තීයවේදීන් රට අතහැරලා යනවා. මේ රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. දූෂණයට එරෙහිව පියවර නොගතහොත් ලෝක බැංකුවෙන් ලැබෙන මුදල ලැබෙන්නේ නෑ. ලෝක බැංකු නියෝජිතයන් අමුතු කතාවක් කිව්වා, තමගෙ සංචිත බින්දුව වුණාට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව කියලා. පකිස්ථානය මුල්‍ය අරමුදලට ගියේ බිංදුවේදී නොවෙයි.
දෙදහස් විසි එකේදී අනතුරු ඇඟවීම කළ වෙලාවේ මූල්‍ය අරමුදලට ගියානම් අද මේ ව්‍යසනය ඇති වෙන්නේ නෑ. අපි පත්ව සිටින බරපතළ තත්වය මතක තබා ගත යුතුයි. අද අප ඉන්නේ තාවකාලික සටන් විරාමයක. ගිනි කන්දක් උඩ පහසුවෙන් ඉන්නේ. අපේ සමාජ පද්ධතිය පිපිරී යාමට ආසන්නයි. මේ ගැන අවධානයෙන් යුතුව කටයුතු කරනවා විනා අයවැය ලේඛනයේ ඇති සංඛ්‍යා ලේඛනවලින් උද්දාමයට පත්වී කටයුතු කළහොත් අප මහා මුලාවකට ඇද වැටෙනවා".
සුජිත් හේවාජුලිගේ
0 Comments