china-deisel-sri-lanka

නොවැම්බර් මස අග වනවිට චීනයෙන් ඩීසල් තොගයක් මෙරටට ආනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.



ඇමැතිවරයා 01 වැනිදා මේ බව අනාවරණය කර ඇත්තේ අබුඩාබිහිදි පැවැති කර්මාන්ත සමුළුවකට සමගාමීව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ශ්‍රී ලංකාව ගැඹුරු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතරතුර කිසියම් සහනයක් අපේක්ෂා කරන්නේදැයි ජනමාධ්‍යවේදීන් එහිදී විමසා ඇති අතර, ඊට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව පවසා ඇත.

තෙල් නිපදවන රටවලට සහ සමාගම්වලට තෙල් ආනයනය කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ සිල්ලර මෙහෙයුම් ආරම්භ කිරීමට අවසර දීමේ යෝජනාවක් පසුගිය ජුනි මාසයේදී ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදී. චීනයේ විශාලතම ඛනිජතෙල් සමාගම වන සිනොපෙක්, ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට සූදානමින් සිටින බව ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇත.