coal-ship-issue

වාරකන් කාලයට පෙර ගල් අඟුරු නැව් 38ක ගල් අඟුරු තොග නොරෝච්චාල ගල් අඟුරු බලාගාරය වෙත ලැබිය යුතු බවත්, ඒ සඳහා මේ වනවිට ඉන් අඩක් හෝ ගල් අඟුරු බලාගාර භූමියට ගොඩබෑම සිදු වියයුතු වුවත් මේ වනවිට ලැබී ඇත්තේ ගල් අගුරු නැව් 04ක්පමණක් බවත් ලක්විජය බලාගාර කළමනාකාර නාලක විජේකෝන් මහතා පැවසීය.

ඒ අනුව නිසි ලෙස ගල් අඟුරු නැව් මේ වනවිට නොරෝචෝල ලක්විජය බලාගාරයට නොලැබීම හේතුවෙන් ඉදිරි වසරේ විදුලිය නිෂ්පාදනය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්වන බව හෙතෙම සඳහන් කළේය. ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවෙන්  40%කට වැඩි නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන බලාගාරයක් වන බවද ඒ මහතා පවසා සිටියේය. එසේම වාර්ෂිකව මෙම බලාගාරයෙන් ගිගාවෝට් 5,400ක් රටට ලබාදෙන බවත්, එසේ විශාල ධාරිතාවක් ලබාදීමට ගල් අඟුරු ටොන් මිලියන දෙකක් පමණ අවශ්‍ය වන බවත් නාලක විජේකෝන් මහතා සඳහන් කළේය.



මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්විජය බලාගාර කළමනාකාරවරයා, “ගිගාවෝට් පැය 5,400ක විදුලිය නිපදවන්න ගල් අඟුරු නැව් 38ක් වාර්ෂිකව අවශ්‍යයි. එම නැව්වලින් අඩක් මේ වනවිට පැමිණීම අනිවාර්ය කරුණක්. එයට හේතුව වාරකන් කාලයට පෙර ගල් අඟුරු නැව් 38ක ගල් අඟුරු තොග නොරෝච්චාල ගල් අඟුරු බලාගාරය භූමියට ළඟා වී ගොඩබෑම අවසන් කළ යුතුයි. වාරකන් කාලය නැවත පටන් ගන්නේ 2023 අප්‍රේල් මාසයේ ඒ වනවිට සියලු ගල් අඟුරු ගොඩබා අවසන් වීම අනිවාර්යයි.

එසේ වන්න නම් මේ වනවිට අඩුම තරමින් එයින් අඩක් බලාගාර භූමියට ගොඩබෑම සිදුවිය යුතුයි. නමුත් මේ වනවිට අපට ලැබී ඇත්තේ ගල් අඟුරු නැව් හතරක් පමණයි. තව එක නැවක් පැමිණීම සිදුවෙනවා එය තාමත් ළඟා වී නැහැ.

මේ තත්ත්වය අනුව එළඹෙන වසර තුළදී ලක්විජය බලාගාරය නිපදවන සමස්ත විදුලි ධාරිතාව නිපදවීම දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා.

මොකද ඉතිරි ගල් අඟුරු නැව් ප්‍රමාණය පැමිණියත් අපට තිබෙන පහසුකම් අනුව ඉතිරි නැව් 34ක ගල් අඟුරු ගොඩබෑමට හැකියාවක් නැහැ. අපට තිබෙන පහසුකම් අනුව මසකට ගල් අඟුරු නැව් හයක් පමණ තමා ගොඩබෑමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා එළඹෙන වසර තුළදී අපේ බලාගාරයෙන් ගිගාවොට් 5,400ක් ලබාදෙන්න හැකියාව අහිමි වෙනවා. මේ නිසා 2023 වසරේදී රට තුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇති වීමේ බරපතළ අවදානමක් මේ වනවිට නිර්මාණ වී අවසන්ව තිබෙනවා” යැයි පවසා සිටියේය

(පුත්තලම - හිරාන් ප්‍රියංකර)