කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ කාර්ය මණ්ඩලයේ 11 දෙනකු ප්‍රසූත නිවාඩු ලබාගැනීම සහ කාර්ය මණ්ඩලයේ දැඩි හිඟය හේතුවෙන් අධිකරණ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමේ ගැටලුවක් මතුව තිබේ. මහෙස්ත්‍රාත් අධිකරණ 9කින් සමන්විත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ දෛනිකව විභාග, විමසීම් සහ කැඳවීම් වශයෙන් විශාල නඩු ප්‍රමාණයක් කැඳවනු ලබයි.
පසුගිය වසරක කාලය තුළ ස්ථාන මාරුවීම් ලද අධිකරණ කාර්ය මණ්ඩලය වෙනුවට, අනුප්‍රාප්ත කළ යුතු කාර්ය මණ්ඩලය ප්‍රතිපූර්ණය නොවීම මත අධිකරණ කටයුතු යථාපරිදි පවත්වාගෙන යාම ගැටලුවක් බවට පත්වී ඇතැයි සඳහන් කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය, අධිකරණ ඇමැතිවරයාට, අගවිනිසුරුවරයාටද ලිඛිතව දැනුවත් කිරීම් මේවන විටත් කර තිබේ.
නඩු කටයුතු පවත්වාගෙන යන අංක 9 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ස්ථීර කාර්ය මණ්ඩලයක් අනුයුක්ත නොකිරීම හේතුවෙන් එම අධිකරණයේ කටයුතු සිදුකිරීමට අනෙකුත් අධිකරණවල කාර්ය මණ්ඩලය කැඳවා ගැනීමටද සිදුව තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ලිපිකරුවන් 19 දෙනකු, අධිකරණ යතුරු ලේඛිකා 4ක්, අධිකරණ භාෂා පරිවර්තක 2ක්, කාර්යාලය කාර්ය සහායක 6ක් වශයෙන් පුරප්පාඩු පවතින බව වාර්තා වෙයි.
ඊට අමතරව අධිකරණ කාර්ය මණ්ඩලයේ 11 දෙනකු ප්‍රසූත නිවාඩු යාමෙන් පසු සමස්ත පුරප්පාඩු 42ක් ඇති වන බවත්, එවැනි තත්ත්වයක් තුළ අධිකරණ කටයුතු යථාවත්ව පවත්වාගෙන යාම දැඩි දුෂ්කර කාර්යක් වන බවද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ ලේකම් රසික සංජීව විසින් අධිකරණ ඇමැතිවරයාට සහ අගවිනිසුරුවරයාට යොමු කරන ලද ලිපියේ සඳහන් වේ.
අධිකරණ කාර්ය මණ්ඩලයේ හිඟය මත විභාග නඩු සඳහා අවශ්‍ය සාක්ෂි සටහන් ගොනු කිරීම ප්‍රමාද වීම, භාෂා පරිවර්තක නිලධාරීන් නොමැතිකම, නියමිත වේලාව තුළ නඩු වාර්තා අධිකරණය වෙත නොලැබීම ආදි ගැටලු හේතුවෙන් සාමාන්‍ය ජනතාව නීතිඥවරුන් මෙන්ම විනිසුරුවරුන්ද අපහසුතාවට පත්වී තිබෙන බවද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
(ඉෂාර රත්නකාර)
0 Comments