colombo-protest-opposition
‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් විපක්ෂය සංවිධානය කරන ලද විරෝධතා පා ගමන  මරදාන, එලිෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින්

අද සවස 3.00ට ආරම්භ වූ අතර  විරෝධතාවට තරුණ නීතිඥයන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් සහය පළ කර තිබුණි.



එමෙන්ම  මෙම විරෝධයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජාතික සභාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක්ම  සහභාගි වන නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ වූයේ නැත.
විරෝධතාව හේතුවෙන් මරදාන ආශ්‍රිතව සවස දැඩි රථවාහන තදබදයක් ඇතිවිය.

විරෝධතාකරුවන් ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුව දෙසට පැමිණීමට කටයුතු කළත් පොලිසිය විසින් මාර්ගය අවහිර කළ බව වාර්තා විය.
 මාර්ග බාධක යොදා පොලීසිය මෙම පා ගමනට අවහිර කර තිබුණි. පොලිස් මිනිස් බාධකය බිඳ දැමීමට කිහිප වතාවක්ම උත්සාහ කළ විරෝධතාකරුවන් පොලිසිය පසුපසට තල්ලු කළ අතර එක් අවස්ථාවක නිදහස් පක්ෂයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර පොලිස් මිනිස් බාධකයක්  තල්ලු කිරීමට උත්සාහ කරන අයුරු විඩියෝ ගතවී තිබුණි.


විරෝධතාකරුවන් කොටුව දුම්රියපොළ දෙසට ගමන් කිරීම පොලිසිය විසින් වළක්වා සාමකාමී විරෝධතාවයකට පොලිසිය බාධා කළ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළාය. මේ “රනිල් රාජපක්ෂගේ” අවසානය බවද ඇය පැවසුවාය.
අද කොළඹ පැවති විරෝධතාවයේදී ඇතැම් විරෝධතාකරුවන් පොලිසිය සමඟ ශාරීරික ගැටුමකද පැටලී සිටිනු දක්නට ලැබිණි.