මෙරට සංචාරයකට පැමිණි නවසීලන්ත ජාතිකයකුගෙන් කොළඹ නගරය සංචාරය කිරීම සඳහා ත්රිරෝද රථ ගාස්තුව රුපියල් එක් ලක්ෂ පනස් දාහක මුදලක් ලබා ගත්තැයි කියන සිද්ධියකට අදාළව වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් සංචාරක මගපෙන්වන්නකු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (01) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව පොලිස් සංචාරක කොට්ඨාසයට පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබුණේ නවසීලන්ත ජාතිකයකු විසින් ඉකුත් 2020 වසරේ පෙබරවාරි මස 11 වැනිදාය.
මෙවැනිම වංචා සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර සංචාරක මගපෙන්වන්නා හඳුනා ගැනීමෙන් පසු මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බවද පොලිස් සංචාරක කොට්ඨාසයේම පොලිස් කොස්තාපල් තෙන්නකෝන් නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දෙල්ගොඩ, කහුපිටියගේ තිළිණ මධුසංඛ නමැති සංචාරක මගපෙන්වන්නෙකි.
පැමිණිලිකාර නවසීලන්ත ජාතිකයා නෞකාවෙන් මෙරටට පැමිණ කොළඹ නගරයේ සංචාරය කිරීම සදහා සැකකාර මගපෙන්වන්නා සමග ත්රිරෝද රථයකින් මිල ගණන් විමසා ඇති බවත් එහිදී අදාළ ත්රිරෝද රථ රියදුරු කොළඹ නගරය පෙන්වීම සඳහා ඩොලර් 20ක මුදලක් ඉල්ලා ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙහිදී ඩොලරය රුපියල් 4500ක් වන බවට සඳහන් කර ඇති ත්රිරෝද රථ රියදුරු එම මුදල රුපියල්වලින් ලබාදෙන ලෙසට පැමිණිලිකාර නවසීලන්ත ජාතිකයාට පවසා ඇති බවත් පසුව පැමිණිලිකරු ඒටීඑම් කාඩ් පතක් උපයෝගී කර ගනිමින් අදාළ මුදල ලබාදී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව අදාළ සැකකාර ත්රිරෝද රථ රියදුරාද අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලිස් සංචාරක කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
නිමන්ති රණසිංහ
0 Comments