deaf-driving

නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කෙරේ. මේ අනුව පසුගිය දා රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු වූ අතර පසුගිය 06වෙනිදා ඔවුන් සඳහා ලිඛිත පරීක්ෂණයක් පවත්වන ලදී. එම ලිඛිත පරීක්ෂණය සඳහා 76 දෙනෙකු ඉදිරිපත් වූ අතර 44 දෙනෙකු සමත් වි ඇත. ඔවුන් හට  ප්‍රායෝගික පුහුණුව සඳහා තාවකාලික රියදුරු බලපත් ලබා දීම (LEARNER PERMIT) ගම්පහ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේ දී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) දිනයේ දී  සිදු විය.

මොවුන්ගේ මාස 03ක  ප්‍රායෝගික පුහුණුවෙන් පසුව ස්ථිර රියදුරු බලපත් ලබා දීම සිදු වේ.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, දිවයින පුරා ශ්‍රවණාබාධිත පුද්ගලයින් 388000ක ප්‍රමාණයක් සිටින බවත්, එයින් 39000ක් ගම්පහ දිස්ත්‍රික්කය තුල සිටින බවත් වාර්තා  වී ඇත. රියදුරු බලපත් ලබා ගැනීම සඳහා දිවයින පුරා සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් 1000කට ආසන්න ප්‍රමාණයක් අයදුම් කර ඇති බවද වාර්තා වේ. විශේෂයෙන්ම තම පෞද්ගලික අවශ්‍යතාවයන් හා ස්වයං රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රවණාබාධිත පුද්ගලයින්ගේ කාර්යයන් පහසු කර ගැනීම සඳහා දීර්ඝ කාලයක සිට රියදුරු බලපත් ලබා ගැනීමට අයදුම් කළ ද ඒ සඳහා යහපත් ප්‍රතිඵලයක් මෙතෙක් නොලද බවත්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ මැදිහත් වීම මත අද දින රිය පැදවීමේ තාවකාලික බලපත්‍ර ලබා ගැනීමට හැකි වූ බවත් බිහිරි වූවන්ගේ ජාතික සම්මේලනය පවසයි.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ: වසර 30ක පමණ කාලයක සිට ශ්‍රවණාබාධිත පුද්ගලයින් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් කර ඇති බවත්, විවිධ අවහිරතාවයන් නිසා එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බවත්ය.

එහෙත් මොවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානයත්, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අවධානයත් යොමු කරවීමට හැකි වීමත් තුලින් තමාගේ ධුර කාලය තුල ශ්‍රවණාබාධිත පුද්ගලයින් හට රියදුරු බලපත් ලබා දීමට හැකි වීම සතුටට කරුණක් බවද පැවසීය. මේ සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ඒකකයේ වෛද්‍යවරුන්ගේ විශේෂ සහයෝගයද මේ සඳහා ලැබුණු බවද පැවසීය. එම නිසා අද සිට තාවකාලික රියදුරු බලපත්‍ර ලැබූ අයදුම්කරුවන් ඉදිරි මාස 03 තුල හොඳින් ප්‍රායෝගික පුහුණුව ලබා මාර්ග නීති රීති පිළිබඳව අවබෝධයක් ලබා ගෙන වාහන ධාවනය සිදු කරන ලෙසත් ඒ තුලින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගන්නා ලෙසත් පැවසීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි, සහකාර මොටර්රථ ප්‍රවාහන කොමසාරිස් මිචිලා මාධවී මහත්මිය ඇතුළු නිලධාරීන් සහ බිහිරි වුවන්ගේ මධ්‍යම සම්මේලනයේ සභාපති ගයාන් කොඩිතුවක්කු මහතා ඇතුළු නියෝජිතයින් ද සහභාගී විය.