dhanushka-gunathilaka-arrested

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. 31 හැවිරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරුව පසුගිය සතියේ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉරිදා අලුයම 1 ට පමණ සසෙක්ස් වීදියේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රෙලියානු පොලිසිය උපුටමින් එරට මාධ්‍ය වාර්තා තහවුරු කළේය.

රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක් ලිංගික අතවරයකට ලක්ව ඇති බවට වාර්තා වීමත් සමඟ රාජ්‍ය අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර තදාසන්න පොලිස් ප්‍රදේශයේ විධානයේ රහස් පරීක්ෂකයින් ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කළ බව news.com.au වාර්තාවේ දැක්වේ.

පසුගිය නොවැම්බර් 02 වැනිදා සිදුවූ බව කියන සිද්ධියෙන් පසු අනුමැතියකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වී තිබේ.
මෙම කාන්තාව දින ගණනාවක් ඔන්ලයින් යෙදුමක් හරහා ධනුෂ්ක සමඟ පණිවිඩ හුවමාරු කර ගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ිතබේ.

පසුව දෙන්නා බදාදා මුණගැසුණු අතර  ක්‍රිකට් ක්‍රීඩකයා ඇයට ලිංගික අතවර කළ බව පසුව වාර්තා විය.



සෙනසුරාදා අදාළ ලිපිනයේ අපරාධ ස්ථාන පරීක්ෂණයක් සිදු කරන ලදී.

ගුණතිලක  සිඩ්නි පොලිස් ස්ථානයට ගෙන ගොස් කරන ලද විමර්ශනයේදී අවසරයකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් අනාවරණය විය.

ඉරිදා පරමට්ටා ඇප අධිකරණයේ පෙනී සිටි ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇත

වමත් පිතිකරු ධනුෂ්ක දැනට පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයේ පළමු වටයේ තරගයේදී නැමීබියාවට එරෙහිව පමණක් ක්‍රීඩා කළ අතර ඔහු එක් පන්දුවකින් 0 ට දැවී ගියේය.
පසුව කණ්ඩායම සුපිරි 12 වටයට සුදුසුකම් ලබද්දීත් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු තරගාවලියෙන් ඉවත් විය.

ධනුෂ්ක ගුණතිලකට විනය විරෝධී ඉතිහාසයක් තිබේ. ඔහු 2021 ජුලී මාසයේ ලන්ඩන් අයථා වීදි සංචාරය නිසා මින් ඉහත ලද දඩුවම තවමත් ක්‍රියාත්මක විය යුත්තක් වුවද ඔහුට ඇමතිවරුන්ගේ අනුකම්පා ලද පසුව සමාව ලැබිණි. එය පැවතියේ නම් ඔහුට ඕස්ට්‍රෙලියානු සංචාරයට ඒමට පවා අවස්ථාවක් නැත.
2021 ජුලි එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් නගරයේ සැරිසරමින් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ කුසල් මෙන්ඩිස්ට සහ ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් (2023 ජුලි තෙක්) සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබුණි. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබුණි. පසුව මෙම දඩුවම් ලිහිල් කරන ලද්දේ ඇමතිවරුන්ගේ නියෝග හා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුකම්පාව මතයි.

2021 ජුලි සිද්ධියට පෙර ධනුෂ්ක ගුණතිලක වරක් තම ඇඳුම් කට්ටලය අමතක කර දමා පල්ලකැලේ පැවති එක්දින තරගයකට පෙර ඇඳුම් කාමරයේ බීමතින් සිට වරක් හසුවිය. ඔහු ගැන කණ්ඩායම් කළමනාකාරිත්වය  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තා කළ අතර ඔහුව තරඟ 6 කට ක්‍රීඩා කිරීම අත්හිටුවන ලදී. ඊළඟ වසරේදී ටෙස්ට් තරඟයක් අතරතුර ගුණතිලක තවත් රාත්‍රි සිදුවීමකට සම්බන්ධ වූ අතර ඔහු ගේ වරද එවක පුහුණුකරු  හතුරසිංහ ආරක්ෂා කර තිබුණි.
විනය පරීක්ෂණයකට ලක්ව සිටි කාලයේ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්මුඛ සාකච්චාවකදී මෙසේ කියා තිබුණි.



‘ඔව් රටකට ගිහාම යනවා... එළියට යනවා.. මම කොහොමත් ගේ ඇතුල ඉන්න ආස නැහැ. මට tours ගියත් මම කාමරෙන් නෙමෙයි ඉන්නේ. මම එහේම කාමරේ ඉන්නෙ නිදාගන්න වෙලාවට විතරයි.
rules මුකුත් නෑ.. තිබ්බ කාලයක් තිබ්බ මාස තුන හතරක්. දැන් ඒ කාලේ නම් නෑ .ඉස්කෝලෙ ළමයින්ට වගේ සලකන්නෙ නැහැ. ඉස්කෝලවල ළමයින්ට වගේ සලකන කාලයක් තිබ්බා.
ඕන වෙලාවක එලියට යන්න පුළුවන්.. හැබැයි මම හිතන්නේ හැමෝම professional players ලා විදියට මම හිතන්නේ මැච් එකට කලින් කොහොමද සූදානම් වෙන්න ඕනේ, එතකොට නින්ද අවශ්‍යයි හැමෝම දන්නවා ඒවා. එළියට යන්නේ නැතුව ක්‍රිකට් ගහන්නත් බෑනේ මනස රිලැක්ස් වෙන්න ඕන.
මම හිතන්න නෑ කවුරුත් නයිට් ක්ලබ් යනවා කියලා තරඟ සෙල්ලම් කරද්දි. හැබැයි චාන්ස් එකක් තිබ්බොත් අපි කියමු දවස් තුන හතරක බ්‍රේක් එකක් තියෙනවා කියලා එහෙම තිබ්බොත් එහෙම කොහෙට හරි පොඩි බාර් එකකට ගියයි කියලා සමහර මිනිස්සු අර ළමය අර බාර් එකේ දැක්කා අර බාර් එකේ දැක්කා ඒ ළමයට ක්‍රිකට් ගහන්න බැහැයි කියල හිතනවා. මෙතන මේ ළමයා පාන්දර තුන හතර වෙනකම් පාටි කරනවා.. අර ලංකාවෙ තියෙන මානසිකත්වය තමයි ඉතිං .කාවහරි එක්කෙනෙක්වත් බාර් එකේ දැක්කොත් හිතන්නේ මෙයා හරි අද පාන්දර 3 වෙනකම් හොඳට ගහයි කියලා තමයි හිතන්නේ එච්චර මෝඩ නෑ මම හිතන්නේ.‘

ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාවට අත්අඩංගුවට පත්වීමේ සිදුවීම මේ වනවිට රොයිටර්, ඒඑෆ්පී, එන්ඩීටීවී, ක්‍රික් ඉන්ෆො ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මගින් ඉහළින් වාර්තා කර ඇති අතර පරාජයෙන් පසු ගෙදර ආ ශ්‍රී ලංකාවට පරාජයේ වේදනාව මෙන්ම ධනුෂ්ක නිසා ලජ්ජාවද ගෙනදී තිබේ.