dhanushka-gunatilake

ඔස්ට්‍රෙලියානු තරුණියකට ලිංගික බලහත්කාරකම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්ව සිඩ්නිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දෙවන වතාවට ඇප ඉල්ලා සිටීම සඳහා අද (7) එරට උසාවියේ පෙනී සිටි බව මාධ්‍ය වාර්තා වලින් පැවසේ.
ඇප ඉල්ලීම වෙනුවෙන් සඳුදා ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය හමුවේ මාංචු දමාගෙන සිටිමින් වීඩියෝ සබැඳියක් මගින් ධනුෂ්ක තිරයක දර්ශනය විය.රැඳවුම් මධ්‍යස්ථානයක අළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳගෙන වාඩි වී සිටියදී ඔහු සන්සුන්ව පෙනී සිටි බවත් තම අනන්‍යතාව තහවුරු කිරීමට පමණක් ඔහුට කතා කරන්නට අවස්ථාව උදාවූ බවත් වාර්තා විය.

ඔහු වෙනුවෙන් කරුණු අධිකරණයට ගෙන ආවේ ශ්‍රී ලාංකික නීතීඥ ආනන්ද අමරනාත් මහතාය. ඔහු තම සේවාදායකයාට ඇප ඉල්ලා සිටින බව දන්වා සිටියේය.
මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් ඇප අයැදුම විභාගයට නොගත් අතර එය ගැනීමට පෙර නඩුව කෙටියෙන් කල් තැබීය.
පැමිණිල්ල වෙනුවෙන් සිඩ්නි පොලිසිය කරුණු දක්වා තිබුන අතර වින්දිතයා සිද්ධියට අදාළව හඳුනාගත හැකි සමහර අංග ප්‍රකාශයට පත් කිරීම මැඩපැවැත්වීමට උත්සාහ කරන බව පැමිණිල්ල පැවසීය. සිද්ධිය අවස්ථාවේ ධනුෂ්ක කාන්තාවට අතවර කර ඇත්තේ දරුණු පහරදීම් කිහිපයක් සිදු කරමින් බවත් ඇය ඒ සඳහාද ප්‍රතිකාර ගනිමින් සිටින බවත් අධිකරණයට දන්වා සිටින ලදි.

මේ අතර ඕස්ට්‍රෙලියානු ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරන්නේ ධනුෂ්ක ගුණතිලක ඉරිදා රාත්‍රිය ගත කළේ සරී හිල්ස් පොලිස් ස්ථානයක සිරමැදිරියක බවය.

ඔහුගේ නීතීඥ ආනන්ද අමරනාත් ඩේලි ටෙලිග්‍රාෆ් වෙත පවසා ඇත්තේ තමාට ඕස්ට්‍රේලියාවෙන් පිටව යන්නට අවසර ඉල්ලා උසාවියෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ගැන ධනුෂ්ක “ඉතා කනස්සල්ලට පත්ව සිටින” බවයි.

"ශ්‍රී ලංකාවට ආපසු යාමට නොහැකි වුවහොත් කුමක් සිදුවේවිද යන්න පිළිබඳව ඔහු දැඩි කනස්සල්ලෙන් පසුවේ... මේවා බරපතල චෝදනා මෙවැනි නඩු අවසන් කිරීමට වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවෙනවා. එබැවින් ඔහු ඒ ගැනද දැඩි කනස්සල්ලෙන් පසුවේ." ඔහු පැවසීය.



රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක ඩේටින් ඇප් එකක් හරහා හඳුනාගෙන කෝපි අවන්හලකදී හමුවීමෙන් පසු ඇගේ නිවසට ගොස් ඇගේ කැමැත්ත නැතිව ලිංගික අතවරයකට ලක් කර ඇති බවට වාර්තා වීමත් සමඟ රාජ්‍ය අපරාධ විධානයේ රහස් පරීක්ෂකයින් ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කර ධනුෂ්කව අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම සිදුවීම කිසිදු සැගවීමකින් තොරව ජාත්‍යන්තර මාධ්‍ය තුළ ලොකු අකුරින් වාර්තාකර තිබෙන අතර ශ්‍රී ලංකාවට ගෙන දුන්නේ අපකීර්තියකි.
ලෝක කුසලානයේ සුපිරි 12 වටයෙන් පරාජිත ශ්‍රී ලාංකික ක්‍රිකට් පිල  ධනුෂ්ක නැතිව අද (7) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණි බවද වාර්තා විය.