diana-gamage

විදෙස් පුරවැසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වහා රටින් පිටුවහල් කරන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ පුරවැසියකුද නොවන අදාළ මන්ත්‍රීවරිය වහාම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහානේ රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් එතැන් සිට රටින් පිටුවහල් කරන ලෙස ද රහුමාන් මහතා පැවැසීය. 

අදාළ මන්ත්‍රීවරිය විදේශ පුරවැසියකු ලෙස සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන බවට ලැබුණ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කොට අලුත්කඩේ අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනු කොට තිබෙන බව කී රහුමාන් මහතා ඇය 2014 වසරේ ගත් නේවාසික වීසා මත මෙරට රැඳී සිටින බවද 2015 වසරේ හත්වැනි මාසේ එම වීසාව කල් ඉකුත් වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වන බවද පැවැසීය. ආණ්ඩුව පැහැදිලිවම මේ වාර්තාව යටපත් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කර තිබෙන බවද මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.



මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස සිටියදී 2020 වසරේදී මේ ස්ථාන මාරුව කර තිබෙන බව කී මන්ත්‍රීවරයා අදාළ මන්ත්‍රීවරියගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව පරීක්ෂණ කර උසාවියට කරුණු වාර්තා කරාවි යැයි සිතා මෙලෙස නිලධාරීන් ස්ථාන මාරුකර තිබෙන බව සඳහන් කළේය. අදාළ මන්ත්‍රීවරිය ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍රයක්ද ලබා ගෙන තිබෙන බව කී මුජිබර් රහුමාන් මහතා විදේශිකයකු සිටිමින් ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන බව කීය.

අදාළ මන්ත්‍රීවරිය දේශපාලනය කරන නිසාත් ආණ්ඩුවට සහයෝගය දෙන නිසාත් ආණ්ඩුව අපරාධ අපරාධ විමර්ශන කොට්ඨාසයට බලපෑම් කොට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කොට අදාළ නඩුව ගන්න දෙන්නේ නැතැයි චෝදනා කළ මුජිබර් රහුමාන් මහතා එවැනි රටකට ආයෝජකයන් ඒවි දැයි ප්‍රශ්න කළේය. මෙවැනි චෝදනා සාමාන්‍ය පුද්ගලයකුට තිබුණා නම් මෙළහකටත් අත්අඩංගුවට ගෙන අවසන් බවද මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් කීය. අයවැය තෙවැනි දින විවාදයට සහභාගි වෙමින් මුජිබර් රහුමාන් මහතා මේ සඳහන් කළේය.
අංජුල මහික වීරරත්න