digana-mangala-death

මහනුවර දිගන ප්‍රදේශයේ ‘දිගන මංගල‘ නමින් ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු තෙල්දෙණිය නගර මධ්‍යයේ පිහිටි සිය කාර්යාල කාමරය තුළදීම වෙඩි තබාගෙන ඊයේ (16 වැනිදා) සියදිවි නසාගෙන තිබේ.සිය පුද්ගලික රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන ඇති බව හඳුනාගන්නට ලැබී ඇත.
වෙඩි ශබ්ද ඇසුණ පසුකාර්යාලයේ සේවකයින් ඔහු සිටි ස්ථානයට පැමිණ ඔහුව රෝහල් ගත කරන්නට කටයුතු කළ මුත් ඔහු මියගියේය.ඊයේ (16 වැනිදා) පෙරවරු 12.15ට පමණ ඔහු සතුව තිබූ නිත්‍යානුකූල රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔහුගේ කාමරය තුළ සේවකයන් තිදෙනකු ද සිට ඇත. බරපතළ ලෙස තුවාල ලැබූ කෝටිපති ව්‍යාපාරිකයා මහනුවර රෝහලට ගෙන යනවිට මියගොස් සිටියේය.


දොන් රජීව මංගල ගුණවර්ධන නමැති පනස් හතර හැවිරිදි තිදරු පියෙකු වන මෙම ව්‍යාපාරිකයා රථ වාහන අලෙවි ආයතන, උකස් ගැනීමේ මධ්‍යස්ථාන, ලී බඩු ව්‍යාපාර, විවිධ වෙළෙඳ ඒජන්සි ඇතුළු මහා පරිමාණයේ ව්‍යාපාර රැසක හිමිකරු වන අතර ඔහුගේ කාර්යාලය විවිධ පුද්ගලයින් ඇපයට තැබූ ඔප්පු තිරප්පු ගබඩාවකි.
මොහු ‘ගුණවර්ධන එන්ටර්ප්‍රයිසස්’ නමින් මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් ද පවත්වාගෙන යන බවත් ඊට අමතරව මුදල් පොලියට දීම, මංගල රථ සේවා ඇතුළු විවිධාකාර ව්‍යාපාර රැසක් සිදුකරන බවත් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
තෙල්දෙණිය නගර මධ්‍යයේ පිහිටි මහල් තුනකින් යුත් ‘හයිලන්ඩ් ඒජන්සි’ නමැති ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයේ දී මෙලෙස වෙඩි තබාගෙන ඇත. ඔහුගේ කාර්යාල පුටුව මත හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව හඳුනාගෙන ඇතත් ඔහු සියදිවිනසාගන්නට කිසිදු ඉඟියක් හෝ සටහනක් තබා නොතිබිණි.
 විමර්ශන සිදු කරන තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කාර්යාල සේවකයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.


විවාහක තිදරු පියෙකු වන ඔහු  පල්ලෙකැලේ, කෙංගල්ල පන්සල පාර අංක 7/02 දරන නිවසේ පදිංචිව සිටියේය.
දරුවන්ගෙන් දෙදෙනෙක් දියණියන් වන අතර අනෙක් දරුවා පිරිමි දරුවෙකි.
මූල්‍ය අර්බුදයක්, පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාරික ගැටලුක් මෙම සියදිවි නසාගැනීමට හේතුවී තිබේ දැයි යන්න ගැන විමර්ශන කරයි.
කාර්යාල පරිශ්‍රයේ පිහිටි සීසීටීවී දර්ශන ද නරඹා ඉදිරි පරීක්‍ෂණ සිදු කරන බව පොලිසිය සඳහන් කළේය.