dikwella-incident

පොලිස් වෙසින් ගොස් බලපත්‍ර රහිතව විදේශීය මුදල් හුවමාරු කරන ස්ථානයකින් රුපියල් ලක්ෂ හතලිස් අටක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙකු පෙරේදා (08දා) අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලිසිය පවසයි. දික්වැල්ල අවට පදිංචි 23-47 හැවිරිදි වියපසුවන සිවුදෙනක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.



දික්වැල්ල, නගරයේ බෙලිඅත්ත පාරේ පිහිටි නිවසක පවත්වාගෙන යමින් තිබූ අදාළ මුදල් මාරුකිරිමේ මධ්‍යස්ථානයකට ඉකුත් (05) සවස පැමිණි දෙදෙනකු යූරෝ 1000ක මුදලක් එහි හිරුට ලබාදී එම මුදල් මාරුකර දෙන ලෙස ඉල්ලා තිබේ. ඊට සුළු වේලාවකට පසු පැමිණි සිවුදෙනෙකු තමන් පොලිසියෙන් බවත් මෙම ස්ථානයේ නීතී විරෝධිව විදෙස් මුදල් හුවමාරු කරන බැවින් ඒ පිළිබදව පරික්ෂණ සඳහා පැමිණි බවත් පවසා ඇත. ඒ අනුව ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ යූරෝ 1000 සිය භාරයට ගෙන ඇති සැකකරුවන් එම මුදල් රැගෙන ආ දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ට මාංචු දමන ලෙස පැවසුවද ඔවුන් මාර්ගයට ගොස් මුදා හැර ඇති බවද පොලීසිය පවසයි.

මීට අනතුරුව ඉදිරි කාමරයට ගොස් අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 45ක්ද ව්‍යාපාරිකයා ළග තිබූ ලක්ෂ තුනක්ද සැකකරුවන් භාරයට ගෙන ඇත.

ඒ අනුව ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ පුතෙකු විසින් පිරිසකට පොලිස් හැඳුනුම්පත පෙන්වන ලෙස පවසා ඇති අතර එහිදී ඔහුට බැණවැදී පහර කිහිපයක් එල්ල කර ව්‍යාපාරිකයා ඔවුන් පැමිණි වෑන් රථයට නංවා මාතර දෙසට ගමන් කර ඇති බවද පොලිසිය පවසයි. සැකකරුවන් පැමිණි රථය දික්වැල්ල පොලීසිය පසුකරන විට පොලීසියට හරවන් නැතිදැයි ව්‍යාපාරිකයා ප්‍රශ්න කර ඇති අතර තම පොලිස් ඒකකයේ මූලස්ථානයට රැගෙන යන බව පවසා ඇතත් මගක්දුරක් යද්දී ව්‍යාපාරිකයා බස්සවා වාහනය මාතර දෙසට ධාවනය කර ඇති බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දික්වැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක එච්.එස්. මදුරංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වති.


(දික්වැල්ල - නිමල් ලන්දගේ)