doller-m300

ඩොලර් මිලියන 150 ත් 300ත් අතර ප්‍රමාණයක් මසක දී අයුතු ආකාරයට රටෙන් පිටව යන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා (15) අනාවරණය කළේය.  මේ අයවැය ලේඛනය ජනතාවගේ අපේක්ෂා ඉටු නොකරන්නක් හෙයින් ඊට සහය දිය හැක්කේ රෙදි ඇඳගෙන නොවේ යැයි ද ප්‍රකාශ කළේය.වලේබොඩ මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීම පිළිබඳ විවාදයේදීය.

ගාමිණී වලේබොඩ මහතා මෙසේ ද පැවසීය.

ඩොලර් ටික මේ රට ගෙන්වාගත හැකි ආර්ථික යෝජනා මේ අයවැයට ඇතුළත් වෙලා තියෙනවද?. පිළිතුර නැහැ. එහෙම නං ඔබ  තමුන්නාන්සේලා මේ අයවැයේ ඉලක්ක සපුරා ගන්නේ කොහොමද? ආදායම් බදු ඉලක්කය බිලියන 354යි. 2021ට සාපේක්ෂව සියයට 200ක වර්ධනයක්. මේ ආදයම් ඉලක්කය ලබා ගන්න බැහැ. ලංකාවේ පවුල් 68 ලක්ෂයක් ඉන්නවා. රජයට මේ ආදායම් ආදායම් බදු ඉලක්ක සපුරා ගැනීමට හැකි වන්නේ නැහැ. ඒ අභියෝගයට තමුන්නාන්සේලාගේ රජය මුහුණ දෙනවා. ලේඛනය සුන්දර වුණාට මේ මහ පොළොවේ යථාර්ථවාදීව ක්‍රියාත්මක කළ නොහැකි දෙයක්.

අයවැය ලේඛනය ගැන අප කතා කරන්නේ සතුටෙන් නොවේ. අපි මේ ගැන කතා කරන්නේ දුකෙන්. බදු අයකර ගත හැකි ක්ෂේත්‍ර තියෙනවා.

ඒවා ග්‍රහණය කරගෙන නැහැ. විශාල ආදායම් ලැබිය හැකි ප්‍රභව අමතක කරලා.  ඩොලර් මිලියන 150ත් 300ත් අතර ප්‍රමාණයක් මාසයක දී අයුතු ආකාරයට මේ රටෙන් පිටව යනවා. මේ රටට හිමිවිය යුතු ඩොලර්. විදේශ විනිමය පනතට 21 22, 23 වගන්ති ඇතුළත් නොකළේ ඇයි? මහ බැංකු අධිපතිතුමා කියනවා මේක කරන්න ඕන කියලා. ඇයි මේක ඉදිරිපත් කරන්නේ නැත්තෙ. අධිකරණ ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා. මෙතන ක්‍රියාත්මක වෙන්නේ වෙන න්‍යාය පත්‍රයක් යැයි ද කීය.


සුජිත් හේවාජුලිගේ