අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 636 න් ඖෂධ 185 ක් මේ වන විට රට තුළ නැතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (29) පැවැසීය. සාමාන්‍ය සේලයින් පවා තිබෙන්නේ මාසයක තොගයක් පමණක් බවද සේනානායක මහතා කීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.
“ඖෂධ හිඟය රටේ මූලික ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. හිඟ ඖෂධ පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශයෙන් මා දත්ත ලබාගත්තා.
ජීවිතාරක්ෂක ඖෂධ 14 ක් තිබෙනවා. අත්‍යවශය ඖෂධ 636 ක් තිබෙනවා. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 400 ක් තිබෙනවා. මේ අනුව රජයට අවශ්‍ය ඖෂධ 1050ක් තිබෙනවා.
අත්‍යවශ්‍ය ඖෂධවලින් 185 ක් මේ වන විට නැහැ. ඒ කියන්නේ ඖෂධ සියයට තිහක් නැහැ. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 440 න් එකසිය අනූවක් නැහැ. එනම් සියයට 48 ක ප්‍රමාණයක් නැහැ. එමෙන්ම ජීවිතාරක්ෂක ඖෂධ ගත්තොත් හදිසි හෘදයාබාධ සඳහා පාවිච්චි කරන ටැබ්ලට් එක නැහැ.
හදිසි ප්‍රතිකාර සඳහා භාවිත කරන අයි.වී. සාන්ද්‍රණය නැහැ. සාමාන්‍ය සේලයින් තිබෙන්නේ මාසයක තොගයක් පමණයි. හරි නම් මාස තුනක තොග තිබිය යුතුයි. මේවා නැති වුණොත් රෝගියා මිය යනවා. පිළිකා ආදී රෝග සඳහා වෛද්‍යවරුන් නියමිත නමකින් බෙහෙත් නියම කරන අවස්ථා තිබෙනවා. එවැනි ඖෂධ 40 ක් පිළිකා සඳහා තිබෙනවා. එමෙන්ම පිළිකා නොවන ඖෂධ හතළියක් තිබෙනවා. පිළිකා ඖෂධ 40 න් දැනට 15 ක් නැහැ. පිළිකා නොවන ඖෂධ හතළිහෙන් 25 ක් නැහැ. මේවාට හේතුව මූල්‍ය අර්බුදයම නොවේ. ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල් ගත වීමද ඖෂධ හිඟයට හේතුවක්. රෝහල්වල ඖෂධ හිගයි. වෙළෙඳපොළේ සමහර ඖෂධ හිඟයි. සමහර ඖෂධවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා" යැයිද රාජිත සේනාරත්න මහතා කීය.
අංජුල මහික වීරරත්න
0 Comments