භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම කළේ මේ පිළිබඳ ගොනුකර තිබූ පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. මෙම පෙත්සම ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇයගේ මව වන ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ නීතිඥ ගසාලි හුසේන් මහතා විසින් මෙම පෙත්සම් ගොනුකරනු ලැබ ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ වරදකරු වී මරණ දඬුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්රදානය කිරීම ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවක් බව සඳහන් කරමින් එම සමාව ලබාදීම අහෝසි කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෝ මෙම පෙත්සම් ගොනු කරනු ලැබූහ. පෙත්සම් සලකා බැලීමෙන් පසුව අදාළ සමාව ප්රදානය කිරීම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබ තිබිණි. මෙම පෙත්සම් ඊයේ (17) අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලෙස ඉල්ලීමක් කරන බවත් ඒ සඳහා අයැදුමක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවත්ය.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මස 24වැනිදා මෙම පෙත්සම කැඳවන ලෙස නියෝග කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහත්වරු පෙනී සිටියහ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සමග ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා පෙනී සිටියේය.
0 Comments