expressway-bus

අධිවේගී මාර්ගවල ගමන්ගන්නා මගී බස්රථ සියයකට වැඩි ප්‍රමාණයක් තාවකාලික බලපත්‍ර යටතේ ධාවනය වීම නිසා මාසයකට රුපියල් ලක්ෂ සියයකට (100) වැඩි මුදලක් රජයට අහිමි වෙමින් ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. 2013 වසරේදී අධිවේගී මාර්ගවලට ඩෙන්ඩර් මගින් ලබාදුන් වාර්ෂික මාර්ග බලපත්‍ර සියයකට වැඩි ප්‍රමාණයක් 2019 වසරේදී අවලංගු වූ බවත්, ඉත්පසුව ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකළ බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මේ අනුව එතැන් රජයට සුළු මුදලක් ලබා දී තාවකාලික බලපත්‍රයක් ලබාගෙන බස්රථ සියයකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අධිවේගී මාර්ගවල ධාවනය කරන බවද ඔහු පවසා සිටියේය මේ නිසා තාවකාලික බලපත්‍ර ක්‍රමය  අහෝසි කර වාර්ෂික බලපත්‍රයක් ලබාදීමට ඩෙන්ඩර් කැදවා වැඩි මිලක් ඉදිරිපත් කරන බස් හිමියන්ට අදාළ අවස්ථාව ලබාදිය යුතු බවත්, එසේ නොකිරීම නිසා අධිස්වේගී මාර්ගවල ධාවනය කරන බස් රථවලින් රජයට නිසි ලෙස ආදායම් නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.ඒ නිසා මාසිකව රුපියල් ලක්ෂ සියයක් පමණ රජයට අහිමි වන බවත්, මේ පිළිබද සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් හා අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටි බවත් ඒ මහතා පවසා සිටියේය අධිවේගී මාර්ගවල සුඛෝපභෝගී බස්රථපමණක් ධාවනය කරන බවත්, මෙම බස් රථවලින් මගීන්ගෙන් අධික මුදලක් අය කරගනිමින් තිබෙන හෙයින් මෙම මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ යෙදවීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම සඳහන් කළේය.

(එච්.අයි. තුෂාර)