fertilizer-issue-tea

පොහොර සම්බන්ධයෙන් ගත් අමනෝඥ තීරණය නිසා තේ කර්මාන්තයේ නිෂ්පාදනය සියයට 60කින් පමණ අඩුවී ඇති හෙයින් තේ ගොවින් වෙනුවෙන් සහන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි රජයට යෝජනා කරන බව විපක්ෂනායක සජීත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) පැවසීය. තේ පොහොර මිටිය රුපියල් 15,000 දක්වා වැඩිවී ඇතැයිද ඔහු සඳහන් කළේය. විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.



තේ වගාවේ පොහොර ගැටලුවට රජය ලබාදෙන විසඳුම කුමක් දැයි ඔහු ප්‍රශ්න කළේය. අද බොහෝ ප්‍රදේශවල මිලදී ගැනීමට පවා පොහොර නැති බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා පොහොර සඳහා සහනදායි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි යෝජනා කළේය. ප්‍රමිතියෙන් තොර වල් නාශක වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය. විවිධ ප්‍රශ්න ගැටලු නිසා තේ කර්මාන්තය අවිනිශ්චිත තත්වයකට ඇද වැටී ඇතැයි පැවසූ සජිත් ප්‍රේමදාස මහතා මුඩු ඉඩම් තේ ඉඩම් බවට පත් කිරීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළේය. රජයේ අයවැය යෝජනාවලියේ තේ කර්මාන්තය, කුඩා තේ වතු හිමියා සම්බන්ධයෙන් එක වචනයක් තබා ඉස්පිල්ලක්වත් නැතැයි ඔවුහු චෝදනා කළේය.


අංජුල මහික වීරරත්න