fifa-2022-qatar

කටාරයේ සත්කාරකත්වය යටතේ ලබන නොවැම්බර් 20වැනිදා ආරම්භවීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීම සදහා පැමිණෙන ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ සහ සංචාරකයන් සුඛ විහරණය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී මගී නොකා සහ යාත්‍රා රැසක්ම මේ වනවිට එම මුහුදු සීමාව වෙත යාත්‍රා කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. කටාරය යනු මැදපෙරදිග කලාපයේ පිහිටි ඉතා ඉහළ මට්ටමේ ඉස්ලාම් ආගමික පිළිගැනීම් සහිත රටක් වීමත්,

මෙවර පාපන්දු ලෝක කුසලානය සදහා පැමිණෙන ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ට එම කාලසීමාවේදී සිය උපරිම විනෝදය එහිදී ලබා ගැනීමට නොහැකිවීමත් යන කාරණා නිසා විකල්ප අවස්ථාවත් ලෙස මුහුදේ පාවෙන සුඛෝපභෝගී නෞකා සහ යාත්‍රා ඒ ආසන්න මුහුදු සීමාව වෙත මෙලෙස ළඟා වී තිබේ. මේ යටතේ දැනටමත් MSC Cruises නෞකා සමාගමේ MSC World Europa සහ MSC Poesia යන සුඛෝපභෝගී හෝටල් නොකා දෙක කටාරයේ දෝහා වරාය වෙත සේන්දු වී තිබේ. මේ  අතරින් MSC World Europa නෞකාව එම සමාගමේ නවතම සුඛෝපභෝගී නෞකාව වන අතර, එය නිල වශයෙන් සාගරය වෙත දියත් කිරීම සිදු වූයේද පසුගිය ඉරිදා දිනයේ කටාරයේ දෝහා වරායේදීමය. එසේම MSC Poesia නෞකාවත් නවීනතම තරු හතර පන්තියේ පාවෙන හෝටලයක්වන අතර, එහි ඇති සුඛෝපභෝගී කාමර සංඛ්‍යාව 1,265කි. ඒවාට අමතරව නාන තටාක තුනක්, ස්පා මෙන්ම සුවතා මධ්‍යස්ථානයක්, සිනමා ශාලාවක්, පූල් ක්‍රීඩා පහසුකම්, ටෙනිස් සහ පැසිපන්දු පිටියක් ඇතුළු පහසුකම්ද එහි ඇත. ඊට අමතරව ආපනශාලා හතරක්මෙහි ඇති අතර,

කෝපි හල් 15ක්ද සංචාරකයන් පිනවීමට සූදානමින් සිටියි. මීට අමතරව MSC Cruises නෞකා සමාගමට අයත් දැවැන්තම සුඛෝපභෝගී නෞකාව වන MSC Fantasia සුඛෝපභෝගී නෞකාවත් මෙම සේවා සැලසීම වෙනුවෙන් එක්වීමට නියමිතව තිබේ. මෙලෙස එම සුඛෝපභෝගී මගී නෞකා එරට වරාය වෙත සේන්දු වීම කටාර රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවීමත් විශේෂත්වයකි. පාපන්දු ක්‍රීඩා ලෝලීන් සහ සංචාරකයන් බොහෝ පිරිසක් දැනටමත් මෙම නොකාවල කාමර වෙන්කර ගැනීම්ද සිදු කර ඇතැයි සඳහන් වෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කටාරයේ සංචාරක සහ කටාර ගුවන් සේවයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගරු අක්බාර් අල් බාකර්, ”මේ විදියට පාවෙන සුඛෝපභෝගී නෞකා තුළ නවාතැන් පහසුකම් සහ අනෙකුත් සේවා සම්පාදනයට අවස්ථාව ලබාදීම හරහා ඉතිහාසයේ හොදම පාපන්දු ලෝක කුසලානය ලෙස මෙවර ලෝක කුසලානය සංවිධානය කිරීම සදහා කටාර් රජය දක්වන කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙන් පවසා තිබේ.



MSC Cruises සමූහයේ නවතම ඇස්තමේන්තුවට අනුව එම සමාගම මගින් ලෝක කුසලාන පාපන්දු තරග සමයේදී සේවයට යොදවන මෙම සුඛෝපභෝගී නෞකා තුන මගින් සැපයෙන සමස්ත කාමර සංඛ්‍යාව 10,000ක් වනු  ඇතැයි ගණන් බලා තිබේ. එසේම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇරඹී පළමු සතියේදීම මෙම වෙන්කරගැනීම් 100%ක් බවට පත්වෙනු ඇතැයිද පැවසෙයි. මීට අමතරව තව සුඛෝපභෝගී යාත්‍රා රැසක්ම මේ වනවිට කටාරයට අසල්වැසි එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවර වෙත පැමිණෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි. ඒ ඩුබායිහි පිහිටුවා ඇති Fan Zone කලාපය වෙනුවෙනි. කටාරයට පැමිණෙන පාපන්දු තරග සදහා ටිකට් පත් නොමැති, නමුත් අතෙහි ඩොලර් දහස් ගණනින් ඇති ක්‍රීඩා ලෝලීන් ආකර්ෂණය එහි අරමුණ වී තිබේ. මෙහිදී පිහිටුවන දැවැන්ත තිරයක විකාශය කෙරෙන පාපන්දු තරගයක් යාත්‍රාවක ඉහළම තට්ටුවෙහි සිට නැරඹීම සදහා එක් ක්රාත්‍රියකට ඩොලර් 20,000ක් බැගින් අය කිරීමට නියමිතව තිබේ.

කටාරය සහ එක්සත් අරාබි එමීරයේ දෝහා නගරය අතර ගුවන් ගමනක් සඳහා ගතවන කාලය පැයක් පමණක් වීම නිසා මේ අවස්ථාවන් වෙත වැඩි පිරිසක් ආකර්ෂණය වනු ඇතැයි අදහස වී තිබේ. එසේම එම යාත්‍රා තුළ වඩාත් පහසුවෙන් නවාතැන් පහසුකම් මෙන් අසීමාන්තිකව මත්පැන් මිලදී ගැනීමේ අවස්ථාවද සලසා දීමත් ඒ වෙත වැඩි ආකර්ෂණයක් හිමිවීමට හේතුවකි. මෙම සුඛෝපභෝගී යාත්‍රාවක් තුළ එක් වරෙකට රැඳී සිටිය හැකි සංඛ්‍යාව 125දෙනෙකි. "මේ සෑම යාත්‍රාවක් තුළම සූපවේදියෙක් ඇතුළුව කණ්ඩායමක් සිටිනවා. ඔවුන්ට පුළුවන් ලෝකයේ ඕනෑම රටක ආහාර වේලක් ඉක්මනින්ම සකස් කරලා මේ පාපන්දු ප්‍රේක්ෂකයන් වෙත ලබා දෙන්න.” යනුවෙන් මෙම සුවිශේෂී සුඛෝපභෝගී යාත්‍රා අවස්ථා සංවිධානය කරන්නෙකු පවසා සිටියි. ඒ අනුව මෙම පාපන්දු ලෝක කුසලාන සමයේදී ලොව අතමිට සරු, සුඛෝපභෝගී සංචාරකයන් සහ විනෝදකාමීන් උපරිමව දෝහා සහ ඩුබායි වෙත එකතු කරගැනීම මෙම පහසුකම් සැලසීමේ මූලික අරමුණ වී තිබේ.