fonseka-manusha

වර්තමානයේ දේශප්‍රේමින් ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන්නේ මනුෂ නානායක්කාර ඇමැතිවරයා වැනි පක්ෂ මාරු කරන ‘පනික්කියන්’ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවැසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (02 වැනිදා) කොළඹදී සංවිධානය කර තිබූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට අදාළව කැලණිය ප්‍රදේශයෙන් ආරම්භ කළ පාගමනකට සහාය පළකිරීමට පැමිණි අවස්ථාවකදීය.



දේශද්‍රෝහීන් විසින් පවත්වන විරෝධතා හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට බලපෑම් එල්ලවන බවට මනුෂ නානායක්කාර ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු එහිදී මන්ත්‍රිවරයාගෙන් විමසූ අතර, ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙසේ පැවැසීය.

‘‘සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ලවෙනවා දිගටම මර්දනය ක්‍රියාත්මක වුණොත්. සංචාරකයෝ කියන්නේ ලෝකේ දියුණු රටවලින් එන උදවිය. ඔවුන් බලන්නේ ලංකාවේ මොන වගේ නිදහසක්ද තියෙන්නේ කියලා. අපි දේශප්‍රේමීන් හැටියට හැමදාම මේ රට වෙනුවෙන් ලේ, දහඩිය, කඳුළු හෙළලා තියෙනවා. මනුෂ නානායක්කාර වගේ එහාට මෙහාට පනින පනික්කියෝ තමයි දැන් දේශප්‍රේමියෝ වෙන්න හදන්නේ. ඉදිරියේදී ඒවා මේ රටේ ජනතාව තේරුම් ගනීවි.

අපි මොනම ප්‍රශ්නයක් ආවත් රට වෙනුවෙන් අරගල කරන තරුණ දරුවන් වෙනුවෙන් පෙනීසිටිනවා. ඉදිරියටත් ඔවුන් වෙනුවෙන් කැපකිරීම් කරන්න අපි ලෑස්තියි.’’