foreign-marriage

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට අවහිරතා සිදු වන චක්‍රලේඛ වහාම අහෝසි කරන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට ඊයේ (02) උපදෙස් දුන්නේය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඊයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් අගමැතිවරයා මෙම උපදෙස් දුන්නේය.



විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියේදී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති 2021 අංක 18 දරන චක්‍රලේඛය මඟින් විවිධ සීමාවන් පනවා ඇති බවත් එහිදී ඔවුන්ට සිදු වන අවහිරතා මඟහරවා ගැනීම සඳහා එම චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙසත් අගමැතිවරයා එලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව ඉහත චක්‍රලේඛයේදී විවාහ අපේක්ෂිතයන් විවාහයකදී ආරක්ෂක අමාත්‍යාංශ හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාගත යුතු අතර, අදාළ විදේශ ජාතිකයාගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් ලබා ගත යුතුව තිබිණි. එවන් විවාහයක් සිදු කිරීමේදී අතිරේක රෙජිස්ට්‍රාර්වරුන් පමණක් සිදු කළ යුතු බව ද ඉහත චක්‍රලේඛයේ සඳහන්ව තිබිණි.



(112 වන අධිකාරිය වන) විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විදේශ ජාතිකයකු සහ ශ්‍රී ලාංකිකයෙකු අතර විවාහයක් ලියාපදිංචි කිරීමේදී එම විදේශීය පාර්ශ්වය විසින් ලබාගත් විදේශ ගමන් බලපත්‍රය, සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකය ( අවශ්‍යතාවය අනුව දික්කසාද ලියවිලි, වැන්දඹු බව සනාථ කිරීමේ ලියවිලි) සහ උප්පැන්න සහතිකය (උපන්දිනය සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් පමණක්) ලේඛන පමණක් ප්‍රමාණවත් වේ. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

(නුවන් කොඩිකාර)