හෝමාගම, පිටිපන සහ මීගොඩ, දාම්පෙ යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගන්නා ස්ථාන දෙකක් වටලා මෝටර් රථයක්, කඩු තුනක් සහ හෙරොයින් ග්‍රෑම් 13ක් ඇතුළු කෝටි එකහමාරක් පමණ වටිනා සොරකම් කරන ලද භාණ්ඩ තොගයක් සමඟ මහා පරිමාණ කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය කියයි.
හෝමාගම නගරයේදී හෙරොයින් ග්‍රෑම් 13ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුගෙන් ලද තොරතුරු අනුව මෙම ස්ථාන වැටලූ බව පොලීසිය පවසයි. සොර බඩු අතර යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක් ඇතුළු විදුලි උපකරණ ද වන බව පොලිසිය පවසයි. තොගයක් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පෞද්ගලික බස් රථ හිමිකරුවකු බවත් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී අදාළ බඩු භාණ්ඩ එම නිවසේ තිබී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි. සැකකරුවන් සහ උපකරණ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හෝමාගම පොලීසියේ ස්ථානාධිපති අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම්, උපපොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකර, පොලිස් සැරයන්වරුන් වන 5416 උපුල්, 65262 වික්‍රමරත්න, 57226 රාජපක්ෂ, පොලිස් කොස්තාපල්වරුන් වන 82147 රණසිංහ, 92504 රොෂාන්, කාන්තා පොලිස් කොස්තාපල් 103698 ශෂිණි ඇතුළු පොලිස් නිලධාරීහු සිදු කරති.
(හෝමාගම ප්‍රියන්ත ජයලත්)
0 Comments