හොරණ, මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විදුහලේ සිසුන් තිදෙනකු විදුහලෙන් පිටතට රැගෙන ගොස් පහර දී විදුලිය (කරන්ට්) වැදීමට සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම විදුහලේ විදුහල්පතිනිය,
නියෝජ්‍ය විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු විදුහල්පතිවරිය, පොලිස් පරික්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදැයි එම අධිකාරිය පවසයි.නියෝජ්‍ය විදුහල්පතිවරිය සහ පොලිස් ජීප් රථයේ රියැදුරු (පොලිස් කොස්තාපල්) ඇප මත මුදා හැරුණු බව ද අධිකාරිය සඳහන් කරයි.මෙම පස් දෙනා අධිකාරියෙන් කෙරුණු දැනුම්දීමක් අනුව එහි විමර්ශන අංශය හමුවේ ඊයේ (8) පෙරවරුවේ පෙනී සිටියහ. එහිදී ඔවුන්ගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගැණුනු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය. දරුවන්ට පහරදීම සිදුකර ඇතැයි පැවසෙන්නේ පසුගිය 2 වැනිදා බදාදාය. ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැති වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදුහලේ පස්වැනි වසරේ දරුවන් දොළොස් දෙනකු එහි පුස්තකාල කාමරයට දමා පහරදීමෙන් පසු විදුහල්පතිනියගේ දැනුම් දීම මත පැමිණි මිල්ලනිය පොලිසියේ පොලිස් නිලධාරින් තිදෙනකු විසින් ඉන් දරුවන් තිදෙනකු පොලිස් ජීප් රථයක නංවාගෙන කිසියම් ස්ථානයකට රැගෙන ගොස් පහර දී විදුලිය වැදීමට සලස්වනු ලැබ තිබිණැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ මූලික පරික්ෂණවල දී තොරතුරු අනාවරණය විය.
සිද්ධියෙන් තුවාල ලැබූ දරුවෝ තිදෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. දරුවන් පාසලෙන් එළියට රැගෙන ගිය පොලිස් ජීප් රථය ද නඩු භාණ්ඩයක් ලෙස ළමා ආරක්ෂක අධිකාරිය බාරයට ගත්තේය. සිද්ධිය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතාගේ උපදෙස් මත එහි විශේෂ විමර්ශන නිලධාරිහු කණ්ඩායමක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු කණ්ඩායමක් ද පරීක්ෂණ පවත්වති.
නිමත්ති රණසිංහ
0 Comments