හොරණ මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරා ගත්තැයි කියමින් එහි දරුවන් 09 දෙනකුට පහරදුන් බව කියන සිද්ධියේ දී පොලිස් නිලධාරීන් සිදුකළැයි කියන පිලිස්සීමෙන් දරුවන් තිදෙනකුට පිලිස්සුම් තුවාල සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇතැයි ළමාරක්ෂක අධිකාරිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ ඊයේ (16) කරුණු වාර්තා කළේය.
පොලිස් ජීප් රථයේ සවිකර තිබූ රේඩියෝ දුරකතනයේ ඇති විදුලි රැහැන් මගින් හිරිවැටෙන තෙක් විදුලි සැර වැද්දූ බවට එම දරුවන් ප්‍රකාශ කිරීම හේතුවෙන් දරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කළ බවත් එහිදී එම වාර්තාවට අනුව දරුවන් තිදෙනකු මෙලෙස පිලිස්සුම් තුවාල සහිත බවට සඳහන්ව ඇති බවත් ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශන කටයුතු අවසන්ව ඇති අතර,
ඇතැම් දරුවන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීම සඳහා දෙමාපියන් අකමැති වී ඇතැයි ද ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට වාර්තා කළේය. සැකකාර විදුහල්පතිනිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉල්ලා සිටියේ තම සේවාදායිකාව මේ වන විටත් වැඩ තහනමකට ලක්ව සිටින බැවින් ඇය සාක්ෂිවලට බලපෑම් නොකරන බවත්, සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාර මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ රසික සංජීව බමුණුහෙන්දර මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා පොලිස් ස්ථානාධිපතිවරයාගේ අනුදැනුම මත මෙම සිද්ධියට ගොස් ඇති බවය. ඒ අනුව ඕනෑම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කරමින් නඩුව ලබන ජනවාරි මස 18 වැනිදා තෙක් කල් තැබීය.
ඒ අනුව, මෙලෙස ඇප මත මුදා හැරුණේ මෙම සිද්ධියේ පළමු සැකකරු වන හොරණ මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති රාජපක්ෂ පතිරගමගේ සමරසිරි රාජපක්ෂ, දෙවැනි සැකකරු වන මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් 45426 තන්ති ආරච්චිගේ දොන් ජයන්ත, සිවුවන සැකකාරිය වන හොරණ මිල්ලනිය ගුගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනි ගම්මන්පිල ඉමියාගේ දොන් විනීතා රාජි ගම්මන්පිල යන අයවලන්ය.මෙම සිද්ධියේ තෙවැනි සැකකරු වන මිල්ලනිය පොලිසියේ පොලිස් සැරයන් රියැදුරු 1422 රණසිංහ තිලාන් ප්‍රසාද් යන අය රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් සහ මෙහි පස්වන සැකකාරිය වන එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි ටිකිරි බණ්ඩාර මුදියන්සේලාගේ නෙරංජලා නිශාදි රත්නායක යන අය රුපියල් 7,50,000ක ශරීර ඇපයක් මත ද මුදාහැරීමට ඉකුත් දා අධිකරණය නියෝග කළේය.
0 Comments