internet-banking

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචාසහගත ලෙස ලබාගත් සංවිධානාත්මක කල්ලියක තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල හා ආවේක්ෂණ බුද්ධි ඒකකය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන් විසිදෙනෙකු පමණ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිලි අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මහනුවර තලාතුඔය මැදවච්චිය ආදී ප්‍රදේශවලදීය.

කිසියම් භාණ්ඩයක් විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම පළ කළ පුද්ගලයා අමතා එම භාණ්ඩයේ මිලදී ගන්නා බවට විශ්වාසයක් ඇතිකර එයට අත්තිකාරම් මුදලක් ගිණුම්ගත කරන බව පවසා ඔහුගේ ගිණුම් විස්තර සහ අනෙකුත් විස්තර ලබාගෙන එම වංචාව සිදුකර ඇති බව පොලීසිය පවසයි. අනතුරුව අදාළ භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ගේ ගිණුමට පිවිසීමට ගිණුම් හිමියාගේ ජංගම දුරකථනයට එක් වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් otp කේතය ජාවාරම් කල්ලිය විසින් සූක්ෂම ලෙස ලබාගෙන තිබූ බවද පොලීසිය සඳහන් කරයි. ඒ ඔස්සේ භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ගේ ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී ඔවුන්ගේ ගිණුම්වල තිබෙන මුදල් ජාවාරම්කරුවන්ගේ ගිණුම්වලට යොමුකර ගැනීම කර තිබූ බවද පොලීසිය පවසයි. ජාවාරම්කරුවන් එම ගිණුම් සදහා වෙනත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් භාවිත කර ගිණුම් ආරම්භ කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් ඒ ආකාරයෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයකුගේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 18ක මුදලක් සූක්ෂම ලෙස ඔවුන්ගේ ගිණුමට බැර කර ගෙන තිබූ බව සිදු කළ දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙම සංවිධානාත්මක මුදල් වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් පරිගණක සම්බන්ධයෙන් මනා දැනුමක් තිබෙන තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවත් බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල හා ආවේක්ෂණා බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එස්. සුබසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන දිල්ෂාන්, ශාලිත හා කුමාර මහත්වරු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.


( බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ )