kata-roshan-killers-dead

ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මනුෂ්‍ය ඝාතන නඩුවකට පෙනී සිටීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු හික්කඩුව, තිරණාගම ප්‍රදේශයේදී ඊයේ (31 වැනිදා) වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඔවුන් නඩුව අවසන්ව යද්දී ලුහුබැඳි තවත් යතුරු පැදියකින් ආ දෙන්නෙකු මෙලෙස ඝාතනය සිදු කර තිබේ.


දෙනෝදාහක් බලා සිටියදී මෙම ඝාතනය සිදු කර ඇත්තේ ටී 56 ගිනි අවියකින් බව වාර්තා විය. වෙඩි ප්‍රහාර 17 ක් පමණ එල්ලවී ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා වෙඩි තැබීම සිදුකර පැමිණි දිසාවටම ආපසු යතුරුපැදිය හරවාගෙන පලාගොස් ඇති බවත් ඔවුන්ව හඳුනාගෙන තිබෙන බවත් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.
මෙසේ ඝාතනය කොට ඇත්තේ හික්කඩුව, අඹගහවත්ත කලුපේ පදිංචි ප්‍රසන්න මෙන්ඩිස් (47) සහ ඉසුරු ප්‍රසන්න (26) නමැති පුද්ගලයන් දෙදෙනකි.

ඔවුන් කළුතර එතනමඩලදී බන්ධනාගාර බසයකට වෙඩි තබා රණාලේ සමයං නමැති සංවිධානාත්මක අපරාධකරු ඝාතනය කළැයි චෝදනා එල්ල වූ කටා රොෂාන් නමැත්තා ඝාතනයට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර සිටින සැකකරුවන් දෙදෙනෙකි. කටා රොෂාන් නමැත්තා හික්කඩුව, නලාගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි රොෂාන් ද සිල්වා හෙවත් කටා රොෂාන් යන අය පසුගිය වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබිණි.

එම ඝාතනයට අදාළ නඩුව ඊයේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන තිබිණි.

 ගාල්ල බල ප්‍රදේශය තුළ මෙම වසර තුළ මනුෂ්‍ය ඝාතන අටකට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති අතර ඒ සියල්ල අපරාධ කල්ලි දෙකක් අතර පැවැති ආරාවුල් මුල්කර ගනිමින් සිදුව ඇත. මෙම අපරාධ බෙහොමයක් විදෙස්ගතව සිටින අපරාධකරුවන් විසින් මෙහෙයවා ඇතැයි අනාවරණය වේ.

මියගිය මෘත දේහ කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ සවස් වනවිටත් සිදුකර නොතිබිණි.