kataragama-child-death

වායු රයිෆලයකින් හිසට කළ වෙඩි තැබීමකින් කතරගම දෙටගමුව ප්‍රදේශයේ හය හැවිරිදි දරුවෙකු ඊයේ (17දා) ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කතරගම දෙටගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ලියනගේ නිලේස් තේජස් ආසිත් නමැති දරුවෙකි.



මෙම දරුවා තම පියාගේ බාල සොහොයුරු වන දහඅට හැවිරිදි පුද්ගලයෙකු සමගින් පෙරේදා සවස නිවෙසේ සෙල්ලම් කරගෙන සිට ඇත. දහ අට හැවිරිදි තරුණයා විසින් තමන් අතැති වායු රයිෆලයෙන් දරුවාට වෙඩි තබන සෙල්ලමක් සිදුකර ඇති අතර එම අවස්ථාවේදී රයිෆලය සක්‍රීය වී දරුවාගේ හිසට තුවාල සිදුව ඇත.

බරපතළ තුවාල සහිතව මෙම දරුවා තිස්සමහාරාම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහල වෙතත් ඉන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙතටත් මාරු කර යවා තිබේ. දරුවාගේ හිසෙහි වම් පස ප්‍රදේශයට බරපතළ හානි සිදුව තිබෙන බවත් දරුවා කරාපිටිය රෝහලේදි ශල්‍ය කර්මයකටද භාජන කර සිහිසුන් තත්ත්වයෙන් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබ සිටියෙදී ඊයේ අලුයම මියගොස් තිබෙන බවත් කතරගම පොලිසිය පවසයි.

මෙම සිද්ධියට අදාළව ලියනගේ කවිදු මෙත්මල් නමැති 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබිණි. දරුවාගේ පියාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තම නිවසට තමන් හා දරුවා බැලීමට පැමිණි තම සහෝදරයා අතින් වූ අත්වැරදීමකින් මෙය සිදුව ඇති බවය.

ඒ.ඒ.ප්‍රේමසිරි - තිස්සමහාරාමය