kebithigollewa-incident

කැලයෙන් අහුලා ගත් බව කියමින් ජීව අත්බෝම්බයක් වෙළෙඳ සලකට විකුණා සිගරට් සහ බීඩි මිලදී ගැනීමට ගොස් සිටියදී වැලිඔය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කාංචන මහතා ඊයේ (15) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක 310, ජනකපුර, වැලිඔය පදිංචි ගොඩකන්ද ගමගේ සුමිත් කුමාර නමැත්තෙකි. මෙම ජීව අබෝම්බය නිෂ්පාදනය කර ඇත්තේ කුමන රටකද යන්න සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරිස්කවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.



මෙම සැකකරු ජීව අත්බෝම්බය ළඟ තබාගෙන විකිණීම සඳහා වෙළෙඳ සලක සිටින බවට ලද තොරතුරකට අනුව ඉකුත් 14 වැනිදා පස්වරුවේ ජනකපුර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. සැකකරු ජීව අත්බෝම්බය රැගෙන වෙළෙඳසලට පැමිණ එය විකිණීමට තැත් කර ඇති අතර බෝම්බය විකුණා ලැබෙන මුදලින් සිගරට් සහ බිඩි ලබාගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු හෙළිවිය. මෙය 1960 අංක 18 දරන පීඩාකාරි ආයුධ ආඥාපනතේ 2(අ) වගන්තිය ප්‍රකාරව වරදක් බව සඳහන් කරමින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ වැලිඔය පොලීසියේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ආර්.එම්.සී.ඩී. රත්නායක මහතා විසිනි. මෙම ජීව අත්බෝම්බය සැකකරුට ලැබුණේ කෙසේද? සැකකරු කිසියම් අපරාධයකට සම්බන්ධ වූවෙක්ද? යන්න සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

නිමන්ති රණසිංහ