kelaniya-university

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එහි වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුවකුට නවකවදයදී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත. තමාට ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනකු නවකවදය දුන් බව බව පවසමින් එම සිසුවා පෙරේදා (31) පස්වරුවේ කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.



දේශන අවසන්ව පෙරේදා සවස 3.00ට පමණ තමා ක්‍රීඩා පුහුණුව සඳහා විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරය වෙත එමින් සිටිය දී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් තමා අතරමගදී නතර කරගත් බවත්, සිය බාහිර පෙනුම සම්බන්ධයෙන් ඔවුන් තමන්ට දෝෂාරෝපණය කර කොණ්ඩය හා රැවුල බූගාන ලෙසත් සපත්තු නොදා සෙරෙප්පු දමන ලෙසත්, අත් ඔරලෝසු නොපළඳින ලෙසත් සඳහන් කරමින් තර්ජනය කළ බවට සිසුවාගේ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

ඔවුන්ගේ උපදෙස්වලට තමන් විරෝධය දැක්වීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස තමා ආපන ශාලාවට බලෙන් රැගෙන ගොස් ඒ අය අතර සිටි තිදෙනකු තමාගේ මුහුණට හා ඇගට පහරදුන් බව ද සිසුවා පොලීසියට සඳහන්කර තිබේ.

තමාට පහරදෙන අවස්ථාවේදී සිසුන් හත් දෙනකු පමණ සිටි බවත් නම් වශයෙන් ඒ අය හඳුනන්නේ නැති වුවත් මුහුණින් ඒ අය හඳුනා ගැනීමට හැකි බවත් සිසුවා පොලීසියට ප්‍රකාශකර ඇත. මෙම පැමිණිල්ල සටහන්කර ගැනීමෙන් අනතුරුව පොලීසිය එම සිසුවා රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර පහරදුන් සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි.

ඉන්දිකා රාමනායක