kithulampitiya-incident

අම්බලන්ගොඩ, කුලීගොඩ අප්පලදුව ප්‍රදේශයේ පාලු නිවසක දමා ගොස් සිටියදී සොයා ගත් කුඩා දියණියන් දෙදෙනකු ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසය භාරයේ රඳවන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් සංජය කොඩිතුවක්කු මහතා පසුගිය 12වනදා අම්බලන්ගොඩ පොලිසියට නියෝග කළේය.

අම්බලන්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව පසුගිය (11) රාත්‍රියේ පාලු නිවසක සිටියදී අදාළ දරුවන් දෙදෙනා සොයා ගනු ලැබ තිබේ.දරුවන් දෙදෙනා සොයා ගැනීමෙන් පසු ඔවුන් පිළිබද වගකීම අම්බලන්ගොඩ පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් සැරයන් රේණුකා මහත්මිය ඇතුළු නිලධාරිනියන් තිදෙනෙකුට පවරන ලද අතර ඔවුන් විසින් දරුවන් පිරිසුදු කර ඔවුන්ට අවශ්‍ය ආහාර ලබාදීමට කටයුතු කර තිබිණි. මොවුන්ගේ මව විසින් දියණියත් දෙදෙනා මෙසේ දමා යන්නට ඇති බවත් නම, ගම, වයසවත් කීමට නොහැකි මේ  නොදරුවන් දෙදෙනා කාගේ කවුරුදැයි යන්න මෙතෙක් අනාවරණය නොවූ බවද පොලීසිය පවසයි. අද දරුවන්ගේ දෙමාපියන් සොයා ගැනීමට මහජන සහයෝගය පතන බවත් ඔවුන් සොයා ගෙන නීතිමය පියවර ගන්නා බවද පොලීසිය කියයි.

මහේස්ත්‍රාත් නියෝගයෙන් අනතුරුව දරුවන් දෙදෙනා පෙරේදා (12 දා)  පස්වරුවේදී ගාල්ල කිතුලම්පිටිං ළමා නිවාසයට භාරදීමට අම්බලන්ගොඩ පොලිසියේළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් කටයුතු කරන ලදී. අම්බලන්ගොඩ පොලිසියේ වැඩබලන

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලංකාදේව මහතා ඇතුළු පිරිසක් සිද්ධිය  පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරති.

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)