kohuwala-mother-murder


“උඹ 39න් මැරෙනවා” යැයි තම පුතුට කියමින් සිටි බව කියන 78 හැවිරිදී එක්දරු මවක කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ නිවසකදී ඝාතනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම මවගේ එකම පුතු පෙරේදා (13 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඒ.ආර්. චන්ද්‍රවතී නමැති 78 හැවිරිදි එක්දරු මවකි. ඝාතනයට ලක්වූ මව, පුතු සහ ලේලිය මෙන්ම එම යුවළට දාව සිටින 6 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනා සමග දෙමහල් නිවසේ ඉහළ මහලේ පදිංචිව සිටින අතර පහත මහල කුලී පදනම මත ලබා දීම සඳහා වසා තබා ඇතැයි පොලිසිය කියයි.



පියගැට පෙළින් වැටුන බව කියා ඉකුත් 4 වැනිදා ඝාතනයට ලක්වූ කාන්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ලේලිය වන පොලිස් කොස්තාපල්වරිය සහ සැකකරු විසින් ඇතුළත් කරනවිටත් මියගොස් තිබූ බව පොලිසිය කියයි. හදිසි මරණ පරික්ෂකවරයාගේ නියෝග මත පැවැති පශ්චාත් මූලික පරිෂ්ණයේදී ගෙල ප්‍රදේශයේ ඇඟිලි සලකුණු දක්නට ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරික්ෂණයක් පවත්වන ලෙස හදිසි මරණ පරිකවරයා පොලිසියට නියෝග කර තිබිණි. ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරයේ වැඩබලන මහේස්ත්‍රාත් දහනායක මහතාගේ නියෝග මත කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජනිත දයානන්ද මහතා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී මියගිය කාන්තාවගේ පපුවේ ඉල ඇට 17ක් කැඩීයාමක් හා ගෙල සිර කර හුස්ම හිර කිරීමේදී ගෙල කැඩී ඇති බවත් වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කළ බව පොලිසිය කියයි.



ඊට අමතරව ශරීරය පුරා සුව වූ තුවාල කැලැල් 52ක් තිබෙන බවට වැඩිදුරටත් වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කර තිබූ බව පොලිසිය ඒ අනුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේදී තමන්, මව පඩිපෙළ අසල වැටුණ අවස්ථාවේදී නිවසේ නොසිටි බව ප්‍රකාශ කර තිබිණි. තමන් කොහුවල නගරයට ගොස් නිවසට පැමිණි අවස්ථාවේදී බිරිය විසින් මව පියගැටපෙළ අසල වැටුණු බවත් පැවසූ බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි. සැකකරු පොලිසිය නොමග යැවීම සඳහා දැඩි උත්සාහයක් ගත්තද සීසීටීවී දර්ශන සහ විද්‍යාත්මක සාක්කි පදනම් කරගෙන සිදු කළ දීර්ඝ විමර්ශනයේදී සැකකරු එදින රාත්‍රී 7.15ට නිවසේ උඩු මහලේ කාමරයකදී අමානුෂික අයුරින් මවට පහර දී නිවසින් පිටවී කොහුවල නගරයේ සුපිරි වෙළද සැලකට රාත්‍රී 7.30 ට පමණ ගොස් මත්පැන් බෝතලයක් සහ කොත්තු රොටියක් මිලදී ගෙන නිවස කරා පැමිණ තිබූ බවට සීසීටීවී දර්ශන අනුව අනාවරණය කරගැනීමට සමත් විය.

එම අවස්ථාවේදී කොස්තාපල් බිරිය විසින් සිය මව මියගොස් ඇති බවට දැනුම් දීමෙන් අනතුරුව දෙදෙනාම එක්ව ඇය පියගැටපෙළක් අසල වැටුණු බව පවසා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි. ව්‍යාපාරික පුතු සහ මව අතර කාලයක් තිස්සේ අඬදබර වී ඇති අතර ඒ සෑම අවස්ථාවකම මව විසින් සැකකරුට "උඹ 39න් මැරෙන එකා යැයි නිරතුරුවම පවසා ඇති බවට සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. 39 හැවිරිදි සැකකාර ව්‍යාපාරික පුතු පොලිස් සැරයන් (10191) විජේසිංහ මහතා විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ