කොරියන් නැවක සේවය කරන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයකුට විවාහ පොරොන්දු දී රුපියල් ලක්ෂ 85 ක් ලබාගෙන වංචා කළ බව කියන 25 හැවිරිදි සුරූපී රූපලාවණ්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි. තරුණිය හඳුනා ගැනීමට ලැබුණේ බම්බලපිටිය ප්‍රදේශයේ දී අහම්බෙන් නෙත ගැටීමෙන් අනතුරුව බවත් එදින සිට මිතුරන් වූ ඔවුන් දෙදෙනා දැඩි ළෙන්ගතුව ඇසුරු කළ බවත් එම පුද්ගලයා කළ පැමිණිල්ලේ සඳහන්ය. ඉකුත් වසරේ දෙසැම්බර් මස 8 වැනි දින කොරියන් නැවේ සේවය සඳහා පිටත්ව ගිය ද එදින සිට 2022 ජූනි මස 25 වැනි දා දක්වා මාස හයක පමණ කාලයක් තුළ තරුණියගේ ඉල්ලීම පරිදි ඇයගේ අවශ්‍යතා සඳහා වරින්වර රුපියල් ලක්ෂ 85 ක් ඇය වෙත එවු බව එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.
ඉකුත් ඔක්තෝබර් මස 14 වැනි දින මෙරටට පැමිණි තමන් ඇය හමුවීම සඳහා බම්බලපිටිය ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයට ගිය ද ඇය එහි නැති බවත් මාසයකට පමණ ඉහත දී ඇය ගම් ප්‍රදේශය වන කිලිනොච්චියට ගිය බවට දැනගන්නට ලැබුණු බවත් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී පැමිණිලිකරු පවසා තිබිණි. ඇයගේ ජංගම දුරකතනයට ඇමතුම් ගත්තද එයද අක්‍රිය පැවතීම හේතුවෙන් ඇය පදිංචි නිවස සොයා කිලිනොච්චියට ගිය නමුත් සොයා ගැනීමට නොහැකි වූ බවත් පැමිණිලිකරුගෙන් අනාවරණය විය.
දහසකුත් බලාපොරොත්තු තබාගෙන විවාහ වීමේ අදහසින් තරුණියට මුදල් දුන් බවත් ඇය තමන් මගහැරීමේ හේතුවෙන් එම මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා එම පුද්ගලයා පැමිණිලි කළ බව පොලිසිය කියයි.
ඒ අනුව සැකකාරියගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා සහ ගිණුම් වාර්තා ඔස්සේ විමර්ශන පවත්වා ඇය පදිංචි සිටින ලිපිනය හඳුනාගෙන පොලිස් පණිවුඩ යවා ඇය කොළඹට කැඳවා කළ ප්‍රශ්න කිරීමේ දී තමන් ඔහුගෙන් මුදල් ලබාගත් බවත් තම අදහස් සහ ඔහුගේ අදහස් නොගැළපීම හේතුවෙන් තමන් ඔහු සමග විවාහ වීමේ බලාපොරොත්තු අත්හැර දැමූ බවත් තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී යැයි පොලීසිය පවසයි. ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව තරුණය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකාර තරුණිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments