kottawa-fire-suspect-arrested

කොට්ටාව පරණ පාරේ තෙමහල් ගොඩනැඟිල්ලට ගිනි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු ඉකුත්දා (19දා) රාත්‍රි තවත් පුද්ගලයකු සමඟ යතුරුපැදියකින් කොට්ටාව පරණ පාරේ නිසල උයනේ පිහිටි ව්‍යාපාරිකයකුට අයත් තෙමහල් ගොඩනැඟිල්ල අසලට පැමිණ ඇත.

එම ගොඩනැඟිල්ලේ බිම් මහලේ ගාල් කර තිබූ මත්ස්‍යයන් ප්‍රවාහනය කරන ශීතකරණ සහිත ලොරි රථයකට ගිනි තබා ඔවුන් පලා යන අයුරු එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇතැයි පොලිසිය කියයි. ගින්නේ තෙමහල් ගොඩනැඟිල්ලේ බිම් මහලේ ගාල්කර තිබූ ලොරි රථ තුනක් ඇතුළු දේපළ රැසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබිණි. ගොඩනැඟිල්ලේ කොන්ක්‍රීට් තට්ටුවලටද බරපතළ හානි සිදුවී තිබිණි.

සිද්ධිය වූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී සිද්ධිය වූ දා රාත්‍රි 8.30ට පමණ පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ ඉන් එක් අයකු ගොඩනැඟිල්ලේ බිම් මහලේ ගාල් කර තිබූ ලොරි රථයකට මෙසේ ගිනි තබා පලායන අයුරු සටහන් වී තිබිණි. ගොඩනැඟිල්ලේ හිමිකරු සමඟ පවතින පෞද්ගලික කෝන්තරයක් ගිනි තැබීමට හේතු වී ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු වෙනත් පුද්ගලයකුගේ උපදෙස් මත මෙම ගිනි තැබීම කර ඇතැයි පොලිසිය සැක කරයි. ප්‍රධාන සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.