kushan-abuse

සංචාරක වීසා මත ඕමානයට ගොස් සිටි වින්දිත කාන්තාවක ගෘහ සේවයේ යෙදී සිටියදී කරදර සිදුවීම හේතුවෙන් සුරක්ෂා නිවාසයට පැමිණි අවස්ථාවේ, ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම්වරයා වූ එදිරිචාරිගේ කුෂාන් නමැත්තා ඇය ඔහුගේ  පෞද්ගලික නිවෙසට රැගෙන ගොස් අතවර කර ඇති බව ප්‍රකාශවලින් තොරතුරු අනාවරණය වූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (29) දැනුම් දුන්නේය.

මෙම සැකකරු ඕමාන් රටේ මස්කට් සිට ඕ.වී. 438 සලාම් එයාර් ගුවන් යානයෙන් ඊයේ (29) අලුයම 4.15ට පමණ මෙරටට පැමිණි අවස්ථාවේදී අධිකරණයේ විවෘත වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් බවද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

සැකකරු සම්බන්ධයෙන්, ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ සිටි වින්දිත කාන්තාවන් දෙදෙනකුගෙන් සහ පිරිමි පුද්ගලයකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.  මෙම සැකකරු නීති විරෝධී සහ විසමාචාර සිද්ධිවලට සම්බන්ධ වී ඇතැයි දැනගන්නට ලැබුණු බව 2019 සහ 2020 යන අතර කාලයේ ඕමාන් රටේ සේවයට ගොස් සිටි තැනැත්තකු ප්‍රකාශ දෙමින් සඳහන් කර ඇතැයිද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමාන් රටේ සුරක්ෂා නිවාසයට ගොස් ප්‍රකාශ සටහන් කරගත් බවත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මේ අතර, ඕමාන් රටේ සිදුවන බව කියන මිනිස් වෙළෙඳාම " ඩුබායි සුද්දා” නමැත්තා සහ තවත් කාන්තාවක විසින් සිදුකරනු ලබන බවත්, මේ සම්බන්ධයෙන් තම සේවාදායකයා විරුද්ධ වු හෙයින් ඔහුට මෙසේ අයුත චෝදනා නගා ඇති බවත් ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම්වරයා වූ එදිරිචාරිගේ කුෂාන් නමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේය.

තම සේවාදායකයා මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අවස්ථා තුනකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ‘අභ්‍යන්තර මෙමෝ'' පතකින් තොරතුරු අනාවරණය කළ බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360(ඇ) සහ 345 යන වගන්තිවලින් කියැවෙන වැරැදි සිදුකර ඇති බවත්, ඔහු ඇප සිටියහොත් සාක්ෂිවලට බලපෑම් කිරීමේ හැකියාවක් ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කළේය. ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක ජේ/11, 11 වන පටුමග, ග්‍රීන් ටෙරස්, මාලබේ පදිංචි එදිරිචාරිගේ කුෂාන් නමැත්තාය.


- නිමන්ති රණසිංහ-