mahela-danushka

ධනුෂ්ක ගුණතිලකට මුහුණදීමට සිදුව ඇති තත්වය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත මෙරටට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදින් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින්
ශ්‍රීලංකා කණ්ඩායම තරගාවලිය පුරාම සීමාවට යටත්ව මනා අවබෝධයකින් කටයුතු කළ බවත්, නමුත් අවසන් දින කිහිපයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වු බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහේල පවසා සිටියේ, ධනුෂ්ක මුහුණදුන් සිදුවීම ලෝකයේ සිදුවූ පළමු සිදුවීම නොවන බවත්, ලොව අනෙක් රටවල වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් අතින්ද මෙවැනි දේවල් ඕනෑ තරම් සිදුව ඇති බවයි.

කෙසේ නමුත් පරික්‍ෂණ තවම අවසන් වී නොමැති නිසා ධනුෂ්කටද කරුණු දැක්වීමට අවස්ථාව ලබාදිය යුතු බව හෙතෙම පැවැසීය.
මෙහිදී තවදුරටත් කරුණු දැක් වූ මහේල ජයවර්ධන,අන්තිම තරගය (එංගලන්තයට එරෙහිව) ඉවර වෙලා රාත්‍රියේදී තමයි අපට මේ  ගැන දැනගන්න ලැබුණේ. නමුත් අපි පහුවෙනිදා ඔස්ට්‍රෙලියාවෙන් පිටත් වුණා. ඒ නිසා වැඩි විස්තරයක් දන්නෙ නැහැ. කෙසේ නමුත් ක්‍රීඩකයන් පෞද්ගලිකව තම තමන්ගේ හැසිරීම් රටා ගැන වගකීම භාරගත යුතුයි. කෙසේ නමුත් මේක අවාසනාවන්ත සිදුවීමක්. කණ්ඩායමක් ලෙස අපි බලන්නේ පුළුවන් තරම් නීතිගරුකව හැසිරිලා නැවත මවුබිමට එන්න. ඒ වගේ අවස්ථාවක ක්‍රීඩකයන් අතින් මේ වගේ දේවල් වෙන එක කනගාටුවට කාරණයක්. අපි නීතියට ඉඩදීලා බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා" යැයි පැවසීය.
මෙම සිදුවීමත් සමග ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කුමන බලපෑමක් එල්ලවනු ඇතැයිද.. යන්නට මෙසේ ඔහු කීය.

"එහෙම විශේෂ තත්වයක් නැහැ. නමුත් නැවත මේ දේ නොවෙන්න වගබලා ගැනීම ඉතා වැදගත්.අපි පාසල් ක්‍රීඩකයෝ එක්ක නෙමෙයි වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් එක්ක මේ. තරගාවලිවලට යන්නේ. ඒ නිසා ඔවුන්ට වගකීමක් තියෙනවා ඔවුන්ගේ හැසිරිම ගැන, ඔවුන් ගන්නා තීරණ ගැන. කණ්ඩායමක් විදියට අපේ රාමුවක් තියෙනවා අපි හැසිරිය යුතු ආකාරය ගැන.



අපි ලොකු අවබෝධයකින් මේ තරගාවලිය පුරාම හැසිරුණේ. ගොඩක් කනගාටු වෙනවා කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් වෙනුවෙන් මේ වගේ දෙයක්වීම පිළිබඳ, නමුත් අපි බලමු ඒ රටේ නීතිය අනුව ඇත්තටම මොකක්ද වෙලා නියෙන්නේ කියලා“ යැයිද මහේල මෙහිදී කරුණු පැහැදිලි කර සිටියේය."ක්‍රිකට් ක්‍රීඩාවයි, මේ වෙච්ච සිදුවීමයි අතර සම්බන්ධයක් නැහැ. ඒ නිසා කණ්ඩායමේ මානසිකත්වයට මෙයින් බලපෑමක් නැහැ.


නමුත් කණ්ඩායමක් විදියට  යම්කිසි විදියක ආත්මගරුත්වයක් තිබුණා අපි හැසිරිය යුතු ආකාරය ගැන. ඒගැන ගොඩක් කනගාටුයි. මෙය ඕනෑම තරුණ ක්‍රීඩකයෙක්ව හොඳ පාඩමක්. තමන් ඉදිරියට වෘත්තීය මට්ටමේ ක්‍රීඩා කරනවානම් හැසිරිය යුතු ආකාරය ගැන. කෙසේනමුත් අපි පාඩම්වලින් ඉගෙනගත යුතුයි, ඒමේ දේවල් නැවත නොවෙන්න දැනුවත් කිරීම ඉතා වැදගත්. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් නීතිමය වශයෙන් බලපෑම් කිරීමට අමාරුයි. ඔවුන්ද සාමාන්‍ය ජීවිත ගතකරන පුද්ගලයන්.

ඒ නිසා හැසිරීම් ඔවුන් තුළින්ම බිහිවිය යුතු දෙයක්. ඒක තමයි වැදගත්. තරුණ ක්‍රීඩකයන්ට, ඉදිරීයේදි එන්න ඉන්න ක්‍රීඩකයන්ට ඒ ගැන හොඳ අවබෝධයක් ලබාදෙන එක වැදගත් කියලා හිතනවා" යැයි අවසන් වශයෙන් මහේල පැවසීය.

 (සංජීව ධර්මසේන)