දින තුනක් වයසැති බිලිඳකු කාන්තාවක විසින් ත්‍රිරෝද රථයක දමාගොස් ඇති බවට පවසා පොලිසියට බොරු පැමිණිල්ලක් කර එම බිලිඳා බාරදුන් ත්‍රිරෝද රථ රියදුරකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා අතර බිලිඳා ප්‍රසූත කළ කාන්තාව හා ඇයගේ අනියම් සැමියා ද සිටින බව පොලිසිය පවසයි.
මීට දින කිහිපයකට පෙර බොරැල්ල කනත්ත අසලින් කාන්තාවක් විශාල ගමන් මලු දෙකක් රැගෙන තමාගේ ත්‍රිරෝද රථයට ගොඩ වූ බවත්, මරදාන ප්‍රදේශයෙන් ඇය බැස ගිය පසුව අලුත් වැඩියා කටයුත්තක් සඳහා ත්‍රිරෝද රථය මරදාන ජලාශය පාරේ පිහිටි තම නිවසට රැගෙන යමින් තිබිය දී ත්‍රිරෝද රථයේ පිටුපස භාණ්ඩ තබන කොටසේ දරුවකු හඬන හඬ ඇසී බැලීමේ දී බිලිදෙකු එහි හඬමින් සිටි බවත් සැකකරු පොලිසියට පවසා ඇත. තමා එදින එම දරුවා සිය නිවසේ තබාගෙන පසුදින පැමිණිල්ලක් කර දරුවා බාරදීමට පොලිසියට පැමිණිලි කළ බව ද ප්‍රකාශ කර තිබේ.
පොලිසියට බාරදුන් දින 3ක් වයසැති බිලිඳා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ. අයි.කේ. ඇපලතොටුව මහතාගේ මැදිහත්වීමෙන් පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු බාරයේ රිඡ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම සැකකාර රියැදුරු කළ පැමිණිල්ල අනුව පොලිසිය පරික්ෂණ පවත්වා අදාළ දින බොරැල්ල හා අවට ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරික්ෂා කිරීමේ දී සැකකරුගේ ත්‍රිරෝද රථය එම ප්‍රදේශයේ ගමන් ගෙන නොමැති බවත්, බොරැල්ල කනත්ත අසලින් ගමන් මලු දෙකක් රැගෙන කාන්තාවක ත්‍රිරෝද රථයකට ගොඩවන අයුරුද සටහන් වී නොතිබූ බවත් පොලිසිය පවසයි. ඒ අනුව ත්‍රිරෝද රථ රියැදුරු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සියලු තොරතුරු පොලිසිය හෙළිකරන්ගෙන ඇත. සැකකරුගේ බාල සොහොයුරා පිරිසුදු කිරීමේ සේවා සපයන ආයතනයක කළමනාකරුවකු බවත්, බිලිඳුගේ මව එහි සේවිකාවක බවත් පොලිසිය කියයි. කාන්තාව කළමනාකරු සමග අනියම් සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ඇය ගැබිනියක වී සැකකාර ත්‍රිරෝද රථ රියදුරුගේ නිවස අසල කුලී කාමරයක පදිංචිව සිට ඇති බවත් පොලිසිය පවසයි.
සැකකාරිය එම කාමරය තුළ මීට දින කිහිපයකට පෙර දරුවා ප්‍රසුත කර ඇති බවත්, ත්‍රිරෝද රථ රියැදුරු හා ඔහුගේ සොහොයුරා එක්ව පිහියකින් පෙකනිවැල කපා ඇති බවත්, මෙම උපත වසංකර දරුවා ප්‍රසූත කළ කාන්තාවට ඖෂධ හලකින් ඖෂධ ලබා දී ඇති බවත් පොලිසිය කියයි. කාන්තාව දරුවා දින දෙකක් එම කාමරයේ තබාගෙන සිට ඇති අතර පසුව සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු දරුවා ඔහුගේ ත්‍රිරෝද රථයේ නංවාගෙන බොරු පැමිණිල්ලක් කර දරුවා පොලිසියට බාර දී ඇති බව ද පොලිසිය පවසයි. සැකකරුගේ එම ප්‍රකාශ අනුව ඔහුගේ බාල සොහොයුරා වන පිරිසුදු කිරීමේ ආයතනයේ කළමනාකරු, දරුවා ප්‍රසූත කළ කාන්තාව ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මාතර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විවාහක කාන්තාවක බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරිල්ලෙන් පසුව ඇය දරුවකු ප්‍රසූත කළ කාන්තාවක බවට හෙළි වූ බවද පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ජේ.අයි.කේ. ඇපලතොටුව මහතාගේ මෙහෙයවීමෙන් පරික්ෂණ පැවැත්වේ.
(ඉන්දිකා රාමනායක)
0 Comments