matale-court

ස්ත්‍රී දූෂණ නඩුවකට වසර 7ක සිර දඩුවම් නියම වී සිටි පුද්ගලයකු මාතලේ  මහාධිකරණයේ පිහිටි වැසිකිළියක් තුළදී ඊයේ (10) යකඩ තහඩුවකීන් ගෙල කපා ගැනීම නිසා ඔහු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඔහුගේ ගෙල ප්‍රදේශයේ තුවාල පෙනෙන්නට ඇතැයි එම බන්ධනාගාර නිලධාරියා කීය. බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ මොහු රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මාතලේ පොලිස් වසමේ දී මොහු සිදුකළ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ නඩුවකට මීට මාසයකට පමණ පෙර මාතලේ මහාධිකරණය වසර 7ක සිර දඬුවමක් නියම කර තිබේ.

මෙම සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් දෙදාස් පන්සීයක දඩයක් ද අධිකරණය මොහුට නියම කර තිබී ඇත. දඬුවම් නියම වී දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි මෙම සිරකරු එම වන්දි මුදල හා දඩ මුදල ගෙවීම සම්බන්ධයෙන් වූ නඩුවට ඊයේ මාතලේ මහාධිකරණයට කැඳවා තිබුණු බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම දඩ මුදල හා වන්දි මුදල ගෙවා ගැනීමට නොහැකිව සිරකරු මෙසේ කරන්නට ඇති බවට බන්ධනාගාර නිලධාරීහු සැකකරති. සුවසැරිය 1990 ගිලන් රථයකින් මොහු රෝහල වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කඩිනමින් කටයුතු කර ඇත.  මෙම සිරකරු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය