milk-powder-port

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම හේතුවෙන් කිරිපිටි කිලෝග්‍රෑම් ලක්‍ෂ 4 ක් අඩංගු කන්ටේනර් 17 ක් මාසයකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය ලක්‍ෂමන් විජේසූරිය මහතා පැවසිය.   මෙම කිරිපිටි කන්ටේනර් 17 සඳහා මේ වන විට ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් ලක්‍ෂ 40 ක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවිය හැකි බවත් විජේසූරිය මහතා සඳහන් කළේය. නැවට කිරි පටවන විට එක නීතියක්ද, නැවත මුහුද මැද තිබෙන විට තවත් නීතියද, කොළඹ වරායට ළඟාවීමෙන් පසුව තවත් නීතියක්ද ක්‍රියාත්මක කිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව කී විජේසුරිය මහතා එම කන්ටේනර් නිදහස් කිරීමට කර්මාන්ත අමාත්‍යශයෙන් අනුමැතිය ලැබී තිබුණ ද ආනයන හා අපනයන පාලකවරිය කිරිපිටි කටේනර් සිරකරගෙන සිටින බවත් කීවේය.



මෙම තත්වය හේතුවෙන් වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති බව කී විජේසූරිය මහතා සිරවී තිබෙන කන්ටේනර්වල කිරිපිටි තොගය නරක් වීමේ අවදානමක් ඇති බව ද සඳහන් කළේය. එම කිරිපිටි තොගය නිදහස් කර ගැනීමට සිය නිලධාරීන් තිදෙනකු දින 11 ක් තිස්සේ ආනයන හා අපනයන පාලක කාර්යාලයට ගිය ද රස්තියාදු කර පස්වරුවේ නැවත හරවා එවූ බවත් ආනයන හා අපනයන පාලක කාර්යාලයේ අකාර්යක්‍ෂමතාව මෙයට හේතු වී ඇති බවත් විජේසූරිය මහතා කීය.

එම චෝදනාව පිළිබඳව ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ එම දෙපාර්තමේන්තුවේ කිසිම අකාර්යක්‍ෂමතාවක් නොමැති පාලකවරිය ලෙස තමන් කිසිම ලේඛනයක් සිරකරගෙන නොමැති  බවද ඇය සඳහන් කළාය.  කිරිපිටි ප්‍රශ්නය හරියටම මොකක්ද යන්න තමන් නිවැරැදිව නොදන්නා බව කී උපුල්මලි ප්‍රේමතිලක මහත්මිය සාමාන්‍ය නීතියට පටහැනිව මොනවා හරි ආනයන කර තිබේ නම් මොනම හේතුවකටවත් නිදහස් නොකරන බව ද සඳහන් කළාය.



නීති හදන එක සිය රාජකාරිය නොවන අතර එය රජයේ ප්‍රතිපත්තිය බවත් තමන් නීතියට අනුව රාජකාරි කරන නිසා නීතියට පරිබාහිරව භාණ්ඩ නිදහස් කළ නොහැකි බවත් ඇය කීවාය. කිරිපිටි යනු බලපත්‍රයක් මත ආනයනය කරන භාණ්ඩයක් නොවන බව කී ආනයන හා අපනයන පාලකවරිය කර්මාන්ත අමාත්‍යාංශයට සහ රේගුවට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගැසට් පත්‍රයක් ඔසේ බලය පවරා ඇති බව සඳහන් කළාය.


යොහාන් භාසුර