මුලටියන, රදාවෙල පාසලට ස්ථිර විදුහල්පතිවරයකු ලබා දෙන ලෙස ඉල්ලා පුද්ගලයකු පාසල් භූමියේ අඩි එකසියපනහක් පමණ උස රුක්අත්තන ගසක් උඩ නැඟ 01 වැනිදා විරෝධතාවක නිරත වූයේය. ඔහුට සහයෝගය දැක්වමින් තවත් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් ද ඊට සහභාගි වී සිටියහ.
එම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කළ දිනේෂ් මාපා වැඩිදුර පුහුණුවක් සඳහා යොමු වී සිට තිබිණි. විදුහල්පති ධුරයේ කටයුතු කිරීම සඳහා එම විදුහලේ ගුරුවරියක් තාවකාලිකව පත් කර ගොස් ඇති අතර පාසලට ස්ථිර සුදුසුකම් සහිත විදුහල්පතිවරයකු පත් කරන ලෙසද ඉල්ලා එම විරෝධතාවය පවත්වා තිබිණි.
සිද්ධිය සැලවීමත් සමග දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ සිද්ධිය පිළිබඳව මුලටියන කලාප අධ්‍යාපන අධ්යක්ෂ එම්.ටී. අකීල් දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි. පසුව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විදුහලට පැමිණ විරෝධතාවයේ නියැළුණු පුද්ගලයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔහු ආරක්ෂිතව ගසෙන් බස්සවා ගැනීමට කටයුතු කර ඇත.
ඉන් අනතුරුව විරෝධතාවයේ නියැළුණු පුද්ගලයා ඇතුළු මවුපියන් කීපදෙනෙකු සමග සාකච්ඡාවක් පැවත්වා තිබිණි. එහිදී හිටපු විදුහල්පතිවරයා නැවත විදුහලේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට එකඟ වූ බව මුලටියන කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීහු ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.
ඉෂාර සාරංග - දෙයියන්දර
වී.ඩබ්. තමරසිරි - හක්මණ
0 Comments