කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි අද (18) සිට මෙම මස 21 වැනිදා දක්වා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දීමක් කර ඇත.
එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා යාත්‍රා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ දැක්වේ. ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර, එය හෙට (19) දිනය වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු වෙරළට ආසන්නයෙන් ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද එහි සඳහන් වේ. එම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයාමේ හැකියාවක් පවතින බැවින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙහි බලපෑමෙන් උතුරු නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ තද සුළං ඇතිවන අතර, උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (18) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, සෙසු ප්‍රදේශවල වැසි ඇති නොවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඩයනා උදයංගනී
0 Comments