මෙරට කාන්තාවන් 12දෙනෙකු සංචාරක වීසා මත ගෙන ගොස් ගණිකා වෘත්තිය සඳහා ඕමානයේ පැවැති උත්සවයකදී ප්‍රසිද්ධියේ වෙන්දේසි කර තිබෙන බවත්, මේ පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු කර ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) ප්‍රකාශයක් සිදු කරමිනි. මෙම කරුණ පිළිබඳ විෂය භාර ඇමතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට තමා කටයුතු කරන බවත්, ඒ අනුව ගනු ලබන පියවර පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි -
ඊයේ ඉඳලා මාධ්‍යයේ යනවා තදබල විදියට සංචාරක වීසා මත ඕමාන්වලට ගෙනගිය ගැහැනු ළමයින්ට වුණ දෙයක් නෑ කියලා. මේක විශාල ප්‍රශ්නයක්. අපිට දිගින් දිගටම අහන්න ලැබෙනවා මේ වගේ සංචාරක වීසා මත ගෙනියනවා ඩුබායි සහ අනෙකුත් විදේශවලට, අපේ ගෑනු ළමුන්ව විකුණලා. මේක විශාල ප්‍රශ්නයක්.
සමගි ජන බලවේගයේ පාරිලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන -
විශේෂයෙන්ම කාන්තාවන් 12ක් අරගෙන ගිහින් තිබෙන්නේ අබුඩාබිවලට. එතනින් ඕමානයට ගිහින් උත්සවයකදී ප්‍රසිද්ධියේ වෙන්දේසි කරලා තිබෙනවා. ඉන්පසු මේ අයව ගණිකා වෘත්තියට අරන් ගියා කියලා තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අපේ රටේ ඉන්න අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, නැගණියක් වෙන්න පුළුවන්. කරුණාකරලා රජයේ අවධානය යොමු කරලා මේකට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ -
ඒ වගේ තොරතුරු රාශියක් මාධ්‍ය හරහා මම දැක්කා. අපි කාලයක් ඉඳලා නිරන්තරයෙන්ම විදේශ රැකියා අමාත්‍යාංශයට අවධානය යොමු කරලා තිබෙනවා. සමහර රැකියා ඒජන්තවරු කිසිදු ප්‍රමිතියකින් තොරව නීතිගරුකවීමකින් තොරව මේ වගේ කූට ව්‍යාජ කටයුතුවල යෙදෙන බවට තොරතුරු රාශියක් දීර්ඝ කාලයක් තිස්සේ වරින්වර ලැබිලා තිබෙනවා. මම ඒ ගැන අවධානය යොමු කරන්නම් ඇමතිතුමාට සහ අමාත්‍ය මණ්ඩලයට. ඒ පිළිබඳ තීරණයක් අරගෙන අපි ඔබතුමන්ලාට දැනුම් දෙන්නම්.
0 Comments