parliament-speeches

දෙමළ ජනතාව මුහුණ දෙන උතුරේ ගැටලු ලබන වසරේ 75 වැනි නිදහස් සමරු උත්සවයට පෙර සාමකාමීව විසඳා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. කිසිවෙකුත් ලංකාවට ඇඟිලි ගහන්න උවමනා නැතැයි ද මෙම ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න ලංකාවට හැකියාව ඇතැයි ද ජනාධිපතිවරයා කීය.  මෙවර අය වැය යෝජනා සකස් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් රාමුව අනුව බව ද අදාළ රාමුව තුළ වෙනස්කම් සිදු කිරීමට හැකියාව තිබෙන බව ද ජනාධිපතිවරයා කීය. දෙසැම්බර් මාසය වන විට ණය  ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ කාරණය සඳහා ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සියලු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩිකර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ වසරේ දී මෙන්ම ලබන වසරේ දී සියලුම නීති පද්ධති නවීකරණය කිරිම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙසේ ද කීය.



“අධිකරණ ඇමැතිතුමා වැදගත් කාරණා දහයක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ නීති නවීකරණය කළ යුතුව  තිබෙනවා. ඒ වැඩකටයුතු එතුමාට බාර දී තිබෙනවා.  එයින් කොටසක් අද ඉදිරිපත් කර තිබෙනවා. අපි බලාපොරොත්තු වන්නේ මේ වසරේදීත්, එන වසරේදීත්  සියල්ලම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි ඕන නම් වැඩිපුර දවස් හෝ පාර්ලිමේන්තුව රැස්වී සම්මත කර ගනිමු. නීති නවීකරණය කිරීම වැදගත් දෙයක්. මම සඳුදා සහ අගහරුවාදා පරිසර ඇමතිතුමා සමඟ කෝප් 27 සම්මන්ත්‍රණයට සහභාගී වුණා. මා සමග දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද අපට ආධාර කරන මාලදිවයිනේ හිටපු ජනාධිපති අහමඩ් නෂීඩ් මහතා ද සහභාගී වුණා.

මෙය වැදගත් රැස්වීමක්. 2015 රැස්වීමේ දී ගත් ක්‍රියාමාර්ග ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රසංසා කළ යුතුයි. 2015 එතුමා අපේ තාපය විදුලි බලාගාර සීමා කරන්නට එකග වුණා. ඒ අනුව අලුත් ඒවා එකක්වත් ඇතිකර නැහැ. 2050 වන වන විට මෙරට දේශගුණ විපර්යාස නවත්තන්නේ කෙසේ ද කියා සාකච්ඡා කළා. අප අපේ පක්ෂ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. ඒ අනුව අලුත් නීති සකස් කරගෙන ජනවාරි පෙබරවාරි  මාසවලදී එය ඉදිරිපත් කරනවා. එමෙන්ම උතුරේ ද්‍රවිඩ ප්‍රශ්න ගැන අප සාකච්ඡා කරගෙන යනවා. දැනටමත් අත්අඩංගුවේ සිටි අය නිදහස් කර තිබෙනවා. තවත් අය නිදහස් කිරීමට තියෙනවා. ලේඛකයකුත් සිටිනවා. ඔහු නිවැරදිකරුවෙක් යැයි ඔප්පු වුණොත් අප සහාය දෙන්නම්. අපට ඕන මේ ප්‍රශ්නය විසඳන්න. අතුරුදහන් වූවන් පිළිබඳවත් අප කතා කරමු. අපේ කාලයේ තිබුණේ නඩු ෆයිල් 65ක් පමණයි. දැන්  දෙදහසක් ඉවර කර තිබෙනවා. අප බලන්න ඕන අපේ 75 වන සංවත්සරය එනකොට අපේ මේ ප්‍රශ්නේ විසඳන්න. කවුරුවත් මේ රටට ඇගිලි ගහන්න උවමනා නැහැ. අපට පුළුවන් මේ ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න. එය කරන්න බලාපොරොත්තු වෙනවා.

අප 17 වන සංශෝධනය සම්මත කර ගත්තේ ආණ්ඩුව සහ විපක්ෂය එකතු වෙලා. 19 සහ 21දී කරලා කරලා තියෙන්නෙත් ඒකයි. මේකෙන් ව්‍යවස්ථාදායක සභාව  ඇති කරන්න ඕන. සිවිල් සමාජයේ තුන්දෙනා නම් කරන්නේ අගමැති සහ විපක්ෂ නායක එකතුවයි. එය  සහතික කරන්නේ කථානායකතුමා. පාර්ලිමේන්තුව  එය ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? අගමැතිතුමාට විපක්ෂයේ සහයෝගය නෑ. විපක්ෂ නායක තුමාට  ආණ්ඩුවේ සහයෝගය නෑ. කතානායකතුමාට  දෙපැත්තේම නෑ. එහෙම නම් ඔකොම ඉල්ලා අස්වෙන්න වෙනවා. එකග වෙන හැටියට මෙතුමා සංශෝධනය කළා.  මෙතැන ප්‍රධාන ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ විපක්ෂයේ සජබට අයිති නොවන මන්ත්‍රීවරයා කව්ද කියලා.ද්‍රවිඩ සමාජයෙන් පත් කරනවා ද?

මුස්ලිම් එකෙනෙක් ගැන බලන්න පුළුවන්. මේ කාරණය ඉක්මනට කරන්න. එවිට අලුත් කොමිෂන් සභා සියල්ල පත්කර ගත හැකියි.  මේ වැඩ කටයුත්ත කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.

මා ඊජීප්තු සම්මේලනයට ගිය විට ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ හමුවෙන අවස්ථාව ලැබුණා. ඔවුන් සහාය දෙන බව කිවිවා. අපට තිබෙන්නේ ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කර අවසන් කරන්නයි. චීනය කිව්වේ පෂ සම්මේලනයෙන් පසු කතා කරන ලෙසයි.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:


සාකච්ඡා අවසන් කළ පසු අපට යන්න තියෙන්නේ අයි.එම්.එෆ් වලට පමණයි. රටවල් සමඟ කතා කළ යුතුයි. ජපානය, චීනය, ඉන්දියාව සමඟ කතා කරනවා. ඔක්කොම කළ පසුව මා කියන්නම්.


කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා-

ණය ප්‍රතිව්‍යුහගතකරණය යැයි කියූ විට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ගත්ත ණය කොටසකුත් තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ජාත්‍යන්තර ආයතන වලින් ගත් ණය මෙන්ම රට රටවලින් ගත් ණය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා-


අපිට ඔක්කොම පෞද්ගලික ණය ,ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තරය සංවිධානවලින් ලබාගත් ණය,මි පාර්ශවික ගිවිසුම් ණය තිබෙනවා. ණය ගැන සාකච්ඡා කොට එකගතාවයකට පැමිණි පසුව විශාල ප්‍රශ්නයක් තිබේ යැයි මා සිතන්නේ නැහැ.අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.


විමල් වීරවංශ මහතා:

එක රටක් ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකග නොවී වෙනත් විකල්පයකට එකග වුණොත් සමස්ත ණය ප්‍රතිවපුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය බිඳ වැටෙනවා ද? එසේ වුවහොත් මූල්‍ය අරමුදලේ ප්‍රතිලාභ ඇනහිටිනවා ද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා -

එක රටක් විරුද්ධ වුණොත් වෙන්නේ මොකක්දැයි සාකච්ඡා කළා. තියෙන්නේ විකල්ප දෙකයි. ණය කපා හරින එකද? ණය ගෙවන කාලය දිගුකරන එකද? කියන එකයි. ඒ අනුව විකල්ප දෙකකින් එකකට සකස් කරගන්න පුළුවන්.


චන්දිම වීරක්කොඩි මහතා -

මූල්‍ය අරමුදලෙහි එකඟතා මොනවාද කියා අයවැය ඉදිරිපත් කරන විට අදහසක් තිබිය යුතුයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා-

වෙනස්කමක් වුණොත් අපි දැනුම් දෙන්නම්. ප්‍රධානම එක ජනතාවට බර දානවද? එසේ නැතිනම් සෘජුව අප ගන්නා බදු වැඩි කරනවා ද? කියන එකයි. අනෙක ආණ්ඩුවේ වියදම් පාලනය කිරීමයි.


අංජුල මහික වීරරත්න