pasyala-accident

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය තුනේ කනුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පියකු සහ ඔහුගේ දාහතර හැවිරිදි දියණිය මරුමුවට පත්වූ සිදුවීමක් වාර්තාවේ.
උපකාරක පන්තියකට සහභාගි වූ දියණිය බසයෙන් බැස ඒ ආසන්නයේ වූ නිවස කරා පියා විසින් කැඳවාගෙන යමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා නොනවත්වා පලා යද්දී කල්එලිය නගරයේ දී පොලිසිය විසින් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වැස්ස තිබූ අවස්ථාවේ සන්ධ්‍යා කාලයේ හතට පමණ පියා දියණිය සමග කුඩයක් යටින් පාරේ අයිනේ ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට පත් වී ඇති අතර අනතුරට ලක් වූ දියණිය මීටර් විස්සක් පමණ ඇදී ගොස් තිබූ බවද පොලීසිය සදහන් කරයි. දියණිය සිද්ධිය වූ ස්ථානයේම මරණයට පත්වී ඇති බවත් මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා මරණයට පත් ව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පියා සහ දියණිය අනතුරට පත්ව ඇත්තේ නිවස පේනතෙක් මානයේදීමය. තත්පර දෙක තුනක කාලයක් ගතවූයේ නම් ඔවුනට නිවසට යාමට කල් වේලා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කල්එලිය මීරිගම පාර අංක 52 ලිපිනයේ පදිංචිව සිටි චන්දන නිශාන්ත 54 මහතා සහ නෙවින්දි දිල්ෂිකා 14 දැරියයි. මියගිය දියණිය මීරිගම බණ්ඩාරනායක මහ විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.



අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියැදුරා අමිතිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද ඔහු පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන්නෙකු වන අතර රියදුරා බීමතින් පසු වී ඇති බව මූලික වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූ බවද පොලීසිය සඳහන් කරයි.

මියගිය අයගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සහ මරණ පරීක්ෂණ මීරිගම මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතය.


ජී.ආර්. නෙවින්දි ඩිල්ෂිකා ඉගෙනුම ලැබුවේ මීරිගම ඩඩ්ලි සේනානායක ජාතික පාසලේ 9 ශ්‍රේණියේය. අධ්‍යාපනයට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලදී ද ඒ කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ ඈ විද්‍යාලයීය තූර්යවාදක කණ්ඩායමේ ද සාමාජිකාවකි.

පවුලේ අයගේ හා හිතවතුන්ගේ ආදරය කටකාර ඩිල්ෂිකාට නොඅඩුව ලැබුණේ ඇය පවුලේ බාලයා වූ බැවිනි. ඇය සෑම සඳුදාම පස්වරුවේ නිවසින් පිටත්ව යන්නේ මීරිගම ප්‍රදේශයේ පැවැති උපකාරක පන්තියකට සහභාගිවීම සඳහාය.

උපකාරක පන්ති නිමවී නිවසට පැමිණෙන දියණිය රැගෙන ඒම සඳහා ඇගේ පියා වන චන්දන නිශාන්ත නිතිපතා ගොස් පැමිණෙන බව කියැවේ.
සිද්ධිය අවස්තාවේ මෝටර් රථයේ හැපුණු පියා පාර අයිනේ මුනින් අතට වැටුණු අතර, දියණිය උඩින් විසිවී ගොස් අසල පිහිටි බෝක්කුවක් තුළට වැටිණි.
ඒ මොහොතේ අසල කඩයක සිටි රාජිකා ප්‍රියංගනී මහත්මිය තමා දුටු ඒ අවසනාවන්ත සිද්ධිය මෙසේ විස්තර කළාය.

‘‘ඒ වනවිට වෙලාව සවස 7.00ට විතර ඇති. මම කඩේ ඇතුළේ පුවක් කපමින් ඉද්දි එක පාරටම සද්දයක් ඇහුණා. මම දැක්කා ඒ වෙලාවේ කාර් එකක් පාර පුරා යනවා. ඒක ගියේ පස්යාල පැත්තට. පාර අයිනේ කුඩා දරුවකුගේ සපත්තුවකුත් දැක්කා. මම අපේ මහත්තයට කිව්වා අර කාර් එක මොකක් හරි අනතුරක් කරලා තමයි අර යන්නේ කියලා. පස්සෙ විපරම් කරලා බලනකොට මම දැක්කා පිරිමි පුද්ගලයෙක් මුනින් අතට පාර අයිනේ වැටිලා ඉන්නවා. මහත්තයයි, මමයි ගිහින් එයාව අනිත් පැත්ත හරවලා බැලුවා. එතකොටයි මම අඳුනගත්තේ ඒ අපේ ගෙදරට එහා පැත්තෙ ගෙදර ඉන්න චන්දන මල්ලි කියලා. මම එයාගෙ බිරිඳට කෑ ගහලා කිව්වා චන්දන මල්ලි වැටිලා කියලා. ඒ එක්කම බෝක්කුවේ ඇතුළේ බලනකොට චූටි දියණිය ලේ විලක් එක්ක බෝක්කුව ඇතුළෙ හිටියා. චන්දන මල්ලිට කතාකළාම එයා කෙඳිරි ගෑවා.



අපි චූටි දුව උස්සලා පාරේ ගිය ත්‍රීවීල් එකක මීරිගම රෝහලට යැව්වා. දුවගේ තාත්තව තවත් වාහනයකට යැව්වා. පස්සේ ආරංචි වුණා දුව අතරමගදී මියගිය බව. දුවගේ තාත්තා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවටත් දැනගත්තා.

වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරකු වන හිටපු පොලිස් පරීක්ෂකවරයකු වූ පෙරේරා මහතා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තුවාලකරුවන් රෝහලට රැගෙන ගොස් තිබිණි.

ඔහු දුටු දේ වචනවලට පෙරළුවේ මෙලෙසිනි.

‘‘මගේ ගම මීරිගම වලව්වත්ත. මම මල්ලැහැවට ත්‍රීවීල් එකේ හයර් එකක් ගිහිල්ලා ආපසු එද්දී දැක්කා පිරිසක් වට වෙලා ඉන්නවා. මම එතැනට ගියාම දැනගත්තා අනතුරක් වෙලා තියෙනවා කියලා. මම වහාම මගේ දුරකථනයෙන් පල්ලෙවෙල පොලිසියට සහ සහකාර පොලිස් අධිකාරිවරයාට මේ බව දැනුම් දුන්නා.’’

අනතුර සිදු කර පලාගිය මෝටර් රථය පසුපස පුද්ගලයකු ලුහු බැඳ ගොස් තිබිණි. පසුව කල්එළිය නගරයේ දී ඔහු එය නවත්වගෙන තිබේ. පසුව කල්එළිය නගරයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ද එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔවුන් විසින් මෙම මෝටර් රථය සිය භාරයට ගෙන රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මීතිරිගල ප්‍රදේශයේ පදිංචි එම රියැදුරු කිරිඳිවැල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ව්‍යාපෘති කළමනාකරුවෙකි. ඔහු මීරිගම නගරයේ දී මිතුරකු සමග මත්පැන් පානය කර ඇතැයි අනාවරණය වී තිබේ. අනතුරුව බමන මතින් සිය නිවසට පැමිණිමේදී මෙම අනතුර සිදුව තිබේ.

ඔවුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ මීරිගම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (15 වැනිදා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.